චීනය: වසා දැමීම් මගින් සමාජ අසහනයේ වෙඩි බෙහෙත්වලට ගිනි දල්වයි?

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන සම්මේලනයෙන් මසකට පසු, සමාජයේ පහළ තලයේ පැවති කෝපය පුපුරා මතුපිටට පැමිණ ඇත.
පසුගිය දිනවල, හෙනන් ප්‍රාන්තයේ චොංචෝ හි ඇති දැවැන්ත කර්මාන්ත ශාලාවක් වන ෆොක්ස්කොන්හි කළමනාකාරිත්වය විසින් වැටුප් සොරකම් කිරීම නිසා කම්කරුවන් සහ පොලීසිය අතර ප්‍රචණ්ඩකාරී ගැටුමක් ඇති විය. පාලන තන්ත්‍රය විසින් කුරිරු අන්දමින් ප්‍රදේශ වසා දැමීමේ ක්‍රියාවන් ජනතාව තුළ ඇති පුළුල් අතෘප්තියේ කේන්ද්‍රය බවට පත්ව ඇති අතර, පසුගිය දින කිහිපය තුළ එම ක්‍රියාවන් ඉලක්ක කර ගනිමින් බොහෝ ප්‍රධාන නගරවල පැවති විශාල හා ප්‍රචණ්ඩ විරෝධතා ගැන වාර්තා ලැබෙමින් ඇත.
අප දිගු කලක් පුරා දුටු පරිදි, චීන ධනවාදයේ ගැඹුරු අර්බුදය ජනතාව ක්‍රියාකාරීත්වයට ගෙන ඒමට හේතුවක් වී ඇත.
ෆොක්ස්කොන් අරගලය
හෙනන් ප්‍රාන්තයේ චොංචෝ හි ඇති ෆොක්ස්කොන් කම්හලේ කම්කරුවන් විසින් ආරම්භය ලබාදෙන ලදී.
මෙම දැවැන්ත කර්මාන්ත ශාලාව ලෝකයේ ෆොක්ස්කොන් නිශ්පාදන වලින් විශාල ප්‍රමාණයක් එකලස් කරන අතර,  iphone වලින් 70% ක් නිපදවයි. මෙම දැවැන්ත මෙහෙයුම සඳහා, මෙම දැවැන්ත කම්හල් පරිශ්‍රය තුළ සේවකයන් 130,000 කට අධික සංඛ්‍යාවකට නවාතැන් ලබාදී ඇත.
පාලක චීන කොමියුනිස්ට් පක්ෂයට (CCP) සම්බන්ධ සමස්ත චීන වෘත්තීය සමිති සම්මේලනය විසින් 2021 දී මෙම කර්මාන්ත ශාලාවට ‘කම්කරු නියමුවා’ සම්මානය පිරිනමන ලද නමුත් යථාර්ථයේ දී එය කම්කරුවන් අමානුෂික ලෙස සූරාකෑ අපායක් විය.
කළමනාකාරිත්වය නොසැලකිලිමත් ලෙස ආරක්ෂණ පියවරයන් අනුගමනය නොකිරීම නිසා, COVID-19 පුපුරා යාමේ ප්‍රතිඵලයක් ලෙසින් එය කුරිරු වසා දැමීමකට ලක්වනු ඇතැයි බියෙන් පසුගිය ඔක්තෝබර් අග වන විට කම්කරුවන් දස දහස් ගණනක් පා ගමනින්ම එම පරිශ්‍රයෙන් පලා ගොස් තිබුණි.
දැන්, එම කර්මාන්තශාලාවේම කම්කරුවන් පැහැදිලි ලෙසම වැටුප් සොරකම් කිරීමේ සිදුවීමකට එරෙහිව නැගී සිටී.
සේවකයන් අත්සන් කළ සේවා ගිවිසුම් අනුව ගිවිසගෙන තිබුණේ දින 30 ක වැඩ කාලයක් සඳහා RMB 3,000 (416.77 USD) ක හා තවත් දින 30 ක් සඳහා අතිරේක 3,000 RMB ක පාරිතෝෂිකයකි. නමුත් වැඩි කල් යන්නට මත්තෙන්, කිසිදු සේවකයෙකුට පළමු පාරිතෝෂිකය දින 60 ක් යනතෙක් නොලැබෙන ආකාරයට ෆොක්ස්කොන් විසින් දින වෙනස් කර ඇති බව බොහෝ දෙනෙක් දැන ගත්හ. 2023 මුල් භාගයේ චන්ද්‍ර අලුත් අවුරුදු නිවාඩුව සඳහා ඉතිරි කරමින් සිටි බොහෝ සේවකයන් මේ ගැන කෝපයට පත් විය.
නොවැම්බර් 22 වන විට කෝපයට පත් කම්කරුවන් කළමනාකරණය සිදුකළ මෙම සොරකමට විරෝධය දැක්වීමට රැස් වූහ. කම්හලේ ආරක්ෂක හමුදාවන්ගේ ප්‍රචණ්ඩත්වයට ඔවුන් මුහුණ දුන් අතර, ඔවුන් ඊට ප්‍රතිචාර දැක්වූයේ එඩිතර සටනකිනි. කම්හලේ ආරක්ෂක නිලධාරීන් වේගයෙන් පසු බැසීමට වූ හෙයින්, ප්‍රාදේශීය CCP බලධාරීන් විසින් මර්ධනයට සහාය වනු පිණිස පොලීසිය යෙදවීය
කම්කරුවන්ගේ විරෝධයේ තරම කෙතෙක්ද යත් හෙනන් පාලනයට අසල පිහිටි ලුඕයං, කයිෆෙං, ෂුමේඩියන් හා සචෙං යන නගරවලින් ට්‍රක් රථ 20 කට අධික ප්‍රමාණයකින් පොලීසිය කැඳවීමට සිදු විය.
එසේ තිබියදීත්, කැරලි මර්ධන පලිහ, කඳුළු ගෑස් සහ ජල තුවක්කු වලින් සන්නද්ධ රාජ්‍ය හමුදාවලට එරෙහිව කම්කරුවන් අධිෂ්ඨාන සහගත ලෙස නැඟී සිටීය. තව තවත් පොලිස් බලඇණි ගෙන්වමින් සිටියදී පවා කම්හල් පරිශ්‍රය පුරා වීදි සටන් පැවතුනි. අවසානයේදී, කම්හලේ කළමනාකරණය පසු බැසීමට වූ අතර වහාම කම්හල් පරිශ්‍රයෙන් ඉවත් වීමට කැමති ඕනෑම සේවකයෙකුට RMB 10,000 ක් ලබා දීමට පොරොන්දු විය.
අරගලය පිළිබඳ පුවත චීනය පුරා වේගයෙන් පැතිරෙන්නට විය. ෆොක්ස්කොන් කම්කරුවන්ගේ අරගලය පෙන්නුම් කර ඇත්තේ පාලක රෙජීමය නොසලකා සටන් කිරීමට, සහ සහන දිනා ගැනීමට හැකි බවයි. මෙය එරට රෙජීමය විසින් කරනු ලබන කුරිරු නිරෝධායන වසා දැමීම් වලට එරෙහිව විවෘතව එළියට පැමිණීමට තමන් විසින්ම පියවර ගැනීම වෙනුවෙන් ජනතාවගේ පුළුල් ස්ථරයකට උත්තේජනයක් ලබාදී ඇත.
මේ සියල්ල නැවත වරක් පෙන්වා සිටින්නේ චීන කොමියුනිස්ට් පක්ෂ පාලනය සැබවින්ම කම්කරු පන්තියේ කර මතින් චීන ධනවාදයේ ආරක්ෂකයෙකු ලෙස ක්‍රියා කරමින් සිටින බවයි.
(නිරෝධායන) වසාදැමීම් වලට එරෙහිව නැගී සිටීම
මුලදී, චීන කොමියුනිස්ට් පක්ෂ රෙජීමයේ දැඩි ක්‍රියාමාර්ග මඟින් එහි බටහිර සගයන්ට වඩා හොඳින් COVID-19 වෛරසය පාලනය කළ හැකි විය. එහෙත්, එක් රටක් තුළ පමණක් ‘COVID බින්දුවටම’ තුරන් කිරීමේ උපාය මාර්ගයක් තිරසාර ලෙසින් පවත්වා ගත නොහැකිය. චීනය සෙසු ලෝකයෙන් සම්පූර්ණයෙන්ම කපා දැමිය නොහැකි අතර වෛරසයේ වඩාත් බෝවන ප්‍රභේදයන් මතුවීම තුළ නව පැතිරීම් වැළැක්විය නොහැකිය.
ඔවුන්ගේ රැකියා අහිමිවීමට සහ දෛනික ජීවිතය බරපතල ලෙස කඩාකප්පල් වීමට හේතු වී ඇති දැඩි (නිරෝධායන) වසා දැමීමේ ක්‍රියාමාර්ග නිසා  චීන ජනතාවට විශාල වන්දියක් ගෙවීමට සිදුව ඇත.
රෙජීමය විසින් ගත් එවැනි පියවර වෙනත් රටවලදීට වඩා බොහෝ දීර්ඝ විය. මේ වනවිට යම් පමණකින් එහි දිශාව වෙනස් කිරීමේ උත්සාහයක් පවතී. එහෙත් පාලන තන්ත්‍රයේ පවතින නිලධාරිවාදී ස්වභාවය නිසා මෙය ජනතාවගේ පීඩාවන් තවත් උග්‍ර කර ඇත.
20 වන සම්මේලනයෙන් පසුව, රෙජීමය විසින් විදේශීකයන් සඳහා නිරෝධායන කාලය දින හතේ සිට දින පහක් දක්වා ලිහිල් කළේය. එහෙත් රෙජීමය දේශීය නිලධාරීන්ට දිගින් දිගටම නියෝග කළේ ‘ශුන්‍ය COVID’ ප්‍රතිපත්තියක් පවත්වා ගත යුතු බවයි.
සංචාරක සීමාවන් ලිහිල් වූ බැවින් COVID-19 ආසාදනයන් ඉහළ යාමට පටන් ගත් අතර, ප්‍රාදේශීය නිලධරය එයට ප්‍රතිචාර දැක්වූයේ –ශුන්‍ය COVID තත්ත්වයක් පවත්වා ගැනීම සඳහා ඉහළින් ලද නියෝග අනුව යමින්– නව වටයකින් වෙන කවරදාටත් වඩා කුරිරු හා උමතු ලෙස කළ වසා දැමීම් මඟිනි.  එය ජනතාවගේ ජීවිතවල වෙන කවරදාටත් වඩා වැඩි බාධාවක් ඇති කළේය.
නිලධරය අපේක්ෂා කළේ ජනතාව ඔවුන්ගේ නියෝග පිළිපදිනු ඇති බවයි. ජනතාව ඔවුන් බැඳ දමා ඇති ලණුවේ කෙළවරටම ළඟා වී ඇති බව ඔවුන් තේරුම් ගත්තේ නැත.
කෝපාග්නිය
එක්වරම ජනතාව කැළඹවීමට සමත් සිදුවීමක් ඇති විය. ෂින්ජෑං පළාතේ අගනුවර වන යූරුම්ෂී හි, 10 කට අධික සංඛ්‍යාවක් (බොහෝ දෙනා පවසන්නේ එය 44  තරම් ඉහළ අගයක් ගත හැකි බවයි) මිය යාමට හේතු වූ මහල් නිවාසයක ඇතිවූ ගින්න ජනතා කෝපය දෙගොඩතලා යාමට සැලැස්වූ සිදුවීම විය.
අනවශ්‍ය මරණ රැසකට තුඩු දුන්, ගලවා ගැනීමේ මෙහෙයුම්වල ඇතිවූ දැඩි ප්‍රමාදයන් සම්බන්ධයෙන්, බොහෝ දෙනෙක් ඇඟිල්ල දිගු වූයේ අසල ප්‍රදේශවල පැවති (නිරෝධායන) වසා දැමීම් වෙතය. ජනයාට මෙය ඉවසීමේ සීමාව ඉක්මවා යාමක් වූ අතර ඔවුන් අන්තර්ජාලය ඔස්සේ ඛේදවාචකය ගැන කතා කරමින් ඉතා ඉක්මණින් විශාල වශයෙන් පාරට බසින්නට විය.
මීට පෙර බොහෝ ජනතා නැඟිටීම්වලදී මෙන් මෙන්, විරෝධතා ආරම්භ වූයේ හෙම්බත්ව සිටි පුද්ගලයන් කිහිප දෙනෙකු විසින් විශාල පෞද්ගලික අවදානමක් දරා ගනිමින් ගත් අධිෂ්ඨාන සහගත පියවරවලිනි. පිරිස් වැඩියෙන් සම්බන්ධ වූ විට, පොදු කෝපය ධෛර්ය සම්පන්න සහ අධිෂ්ඨාන ජනතා ව්‍යාපාරයක් බවට පත් විය. සිය දහස් ගණනක් ජනතාව ස්ව්‍යංව පාරට බසිමින්, වසා දැමීමේ රෙගුලාසි නොසලකා, විරෝධතා දක්වමින් නගර ශාලාව කරා ගියහ.
අන්තර්ජාලය හරහා පිටවූ කෝපාග්නිය කෙතරම් ව්‍යාප්ත වීද යත්, තමන් සතුව වාරණය කිරීමේ දැවැන්ත යන්ත්‍රණයන් සතුව ඇති පාලන තන්ත්‍රයට පවා එය දරාගත නොහැකි බව ඔප්පු විය. ජනතා ගාමනය වළක්වා ගැනීමට එය අසමත් විය. මේ වනවිට සෑම තැනකම ජනතාව එයට සම්බන්ධ වීමට තරම් ධෛර්යයක් ලබාගෙන ඇත.
දින කිහිපයක් ඇතුළත, යූරුම්ෂී ගින්නෙන් විපතට පත්වූවන්ට ශෝකය පළ කරමින් කෙරෙන විරෝධතා ස්වයංසිද්ධව චීනයේ ප්‍රධාන නගර කරා ව්‍යාප්ත විය. බොහෝ විරෝධතාකරුවන් දේශපාලනයට හෝ ඕනෑම විරෝධතා ක්‍රියාවකට මුළුමණින්ම ආගන්තුක විය. ඔවුන් බොහෝ දෙනෙක් ඔවුන්ගේ ක්‍රියාකාරකම් සජීවීව විකාශනය කළ අතර එමඟින් වාරණය දුර්වල තත්ත්වයකට ඇද දැමීය.
විශේෂයෙන් සුදු කඩදාසියක් තබා ගැනීම මෙම විරෝධතා බොහොමයක සංකේතයක් බවට පත්ව ඇත: මෙය පාලන තන්ත්‍රය විසින් 2019 හොංකොං විරෝධතාවලින් ලබාගත් සියලුම විරෝධතා සටන් පාඨ තහනම් කිරීම උපහාසය ලක් කිරීමක් විය.
මේ දක්වා, විශාල රැස්වීම්වල සිට වසා දැමීමේ බාධක බිඳ දැමීම දක්වා වූ විරෝධතා නන්ජින්, චොංචිං, චෙංඩු, ෂැංහයි, ග්වන්ජෝ, වුහාන් සහ බීජිං වලින් වාර්තා වී ඇත.
පොලිස් මර්දනයන්ගෙන් පසුව, අවම වශයෙන් මේ වනවිට ජනකාව විසිරී ඇති බව පෙනේ. නමුත් සිදුවීම් ඉතා ඉක්මණින් වර්ධනය වෙමින් පවතින අතර ඉදිරි දිනවලදී අරගලය වර්ධනය වන ආකාරය දැකගත හැකි වනු ඇත.
තරුණ කොටස් පෙරට ඒම
තරුණයින් ශක්තිමත් අන්දමින් ක්‍රියාත්මක වී ඇත. මෙය ලියන අවස්ථාව වනවිට පළාත් 15 ක විශ්ව විද්‍යාල 79 ක් පුරා ශිෂ්‍ය විරෝධතා ඇතිව ඇති අතර ඉන් 14 ක් බීජිං අගනුවර වූ සිදුවීම් විය.
සරසවි වලින් පිටත සාමාන්‍ය පුරවැසියන්ද පාරවල් දිගේ ගමන් කළේ: “ අපට PCR අවශ්‍ය නැත, අපට කෑමට අවශ්‍යය. අපට වසා දැමීම් අවශ්‍ය නැත, අපට අවශ්‍යය නිදහසයි” යනුවෙන් කෑ ගසමිනි.
මෙම සටන් පාඨය මුලින් මතු කළේ මෑතදී CCP සම්මේලනයට පෙර බීජිං හි විශාල බැනරයක් එල්ලා තැබූ හුදකලා විරෝධතාකරුවකු විසිනි. ඔහු ඉක්මනින්ම අත්අඩංගුවට ගනු ලැබුවද, ඔහුගේ සටන් පාඨය පැහැදිලිවම බොහෝ අය කෙරෙන් අනුනාද විය.
සති කිහිපයකට පෙර බැනරය දිග හැරුණු සිටොං පාලම මත විරෝධතාකරුවන් දවස පුරාම රැස්ව සිටියහ. නැතහොත් ඔවුන් වඩාත් සුපරීක්ෂාකාරී ලෙසින් ලියැංමා ගඟේ දී හමුවිය. රාත්‍රිය පුරාම ජාත්‍යන්තර ගීතයේ ගායනය ඇසෙන්නට විය.
තත්වය වේගයෙන් වර්ධනය වෙමින් පවතී. විශාලත්වය හා ව්‍යාප්තිය අනුව, වර්තමාන අරගලය පසුගිය වසර 30 තුළ එරට ඇතිවූ විශාලතම අරගලය බවට දැනටමත් සනිටුහන් කර හමාරය.
හමා එන විරෝධය
අවසාන විග්‍රහයේදී තමන්ගේම ආඥාදායක බලයක් පවත්වා ගැනීම අරමුණු කරගත් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන CCP විසින් පනවා ඇති කුරිරු වසා දැමීම්වලට එරෙහිව ජනතාව ගෙනයන අරගලයට මාක්ස්වාදීන් සිය පූර්ණ සහයෝගය පළ කරයි.
ෂී තම කීර්තිය ගොඩනඟා තිබුණේ ඉතා දැඩි වසා දැමීමේ ප්‍රතිපත්තියේ සාර්ථකත්වය මතය. ඉදිරියේ පැමිණෙන ආර්ථික හා සමාජ කුණාටුවට මුහුණ දීම වෙනුවෙන් අවශ්‍ය ආධිපත්‍ය පවත්වා ගැනීම වෙනුවෙන් ඔහුට ඔහුව චීන ජනතාව ආරක්ෂා කළ හැකි ඉහළම බලවත් පුද්ගලයා ලෙසින් පෙන්වා සිටිය යුතුය.
චීනයේ සයිනොවැක් එන්නත බටහිර එන්නත් මෙන් ඵලදායී නොමැති වීමේ ගැටලුවටද පාලන තන්ත්‍රය මුහුණ දී සිටී. මෙය බොහෝ දුරට බටහිර රටවල තාක්‍ෂණික ආරක්ෂණවාදය විසින් mRNA තාක්‍ෂණය තමන් වෙතම රඳවා ගැනීම නිසා සිදු වූවකි. එහෙත් තම කීර්තියට හානි වේ යැයි බියෙන් බටහිර ඖෂධ සමාගම් වලින් වඩාත් ඵලදායී එන්නත් මිලදී ගැනීම පාලන තන්ත්‍රය විසින්ම ප්‍රතික්ෂේප කර ඇත.
කෙසේ වෙතත්, මේ වනවිට පාලන තන්ත්‍රයේ අධිකාරිය සහ කීර්තිය බිඳ වැටෙමින් තිබේ. ජනයා ඔවුන්ගේ සීමාව කරා තල්ලු කර ඇති නමුදු COVID-19 ඉවත් වීමක් සිදුව නොමැත. විශාල ව්‍යාපාරවලට විශාල බදු සහන සහ ප්‍රතිලාභ ලැබී ඇති අතර, බොහෝ සාමාන්‍ය ජනයාට මස් ලබා ගැනීමටවත් හැකියාවක් නොමැත. සමහර විට වසා දැමීම් නිසා මොනම හෝ ආහාරයක් ඇණවුම් කිරීමද දුෂ්කර වී ඇත.
‘කොමියුනිස්ට්’ පාලන තන්ත්‍රයක් ලෙස දිගටම පෙනී සිටියද චීනය තුළ කොමියුනිස්ට්වාදයක් නොමැත. සේවා ස්ථානවල හා පුළුල් සමාජය තුළ ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු පාලනයක් නොමැත. පහළ සිට පැවතිය යුතු මෙම ප්‍රජාතන්ත්‍රවාදී පාලනය නොමැතිකම, නිලධරය ජනතාව මත පනවා ඇති සියලු අසමානකම්, ගැටුම් හා දුක් වේදනාවන්ට හේතුවයි.
චීනයේ සැබෑ කම්කරු ප්‍රජාතන්ත්‍රවාදයක් පැවතියේ නම්, ජනතාව සම්බන්ධ වී ජනයාගේ රැකියා සහ ආදායම ආරක්ෂා කරමින් සහ දෛනික අවශ්‍යතා සඳහා ප්‍රවේශය සහතික කරමින්, ආසාදන අවම කිරීම සඳහා අවශ්‍ය වැඩ පිළිවෙලක් ගොඩ නඟමින් වසංගතයට එරෙහිව සටන් කිරීමේ අභියෝගය භාර ගන්නා ආකාරය දැකිය හැකිව තිබුණි.
ලිබරල්වාදීන් කෙරෙහි විශ්වාසය නොතබන්න!
දැනට පවතින විරෝධතාවලින් බහුතරයක් දැඩි වසා දැමීම් අවසන් කිරීම හෝ වසා දැමීම් ‘වඩා මානුෂීය කිරීම’ කෙරේ අවධානය යොමු කෙරෙන සටන් පාඨ ඉදිරිපත් කරයි. CCP සහ ෂී ජින් පිං එළවා දමීම හෝ මාධ්‍ය නිදහස සහ අදහස් ප්‍රකාශ කිරීම වැනි ලිබරල් ධනේශ්වර ඉල්ලීම් පවතින්නේ සුළු වශයෙනි.
මෙම අවස්ථාවෙහිදී, අපි මෙම මහා අරගලයට සම්බන්ධ අයට අනතුරු ඇඟවීමක් කරන්නෙමු. මේ මොහොතේ, විරෝධතාවලට මැදිහත් වන අශෝභන ලිබරල්-ධනේශ්වර කොටස් එතරම් දක්නට නොමැති වුවද, උදව් ඉල්ලමින් බටහිරට ආයාචනා කරන ඕනෑම අයෙකු එකහෙළා ප්‍රතික්ෂේප කළ යුතුය. 2019 හොංකොං විරෝධතා ව්‍යාපාරය පරාජය වීමට හේතු වූයේ මම මාරාන්තික වරදයි.
‘ප්‍රජාතන්ත්‍රවාදය’ වෙනුවෙන් වන මෙම විරෝධතාවයන් සමඟ බටහිර රාජ්‍යයන් දිව දෙකේ ‘සහායක්’ සහිත ප්‍රකාශ නිකුත් කිරීමට ඉදිරිපත් විය හැක. එහෙත් එවැනි රැවටීම් අවඥා සහගතව ප්‍රතික්ෂේප කළ යුතුය. බටහිර අධිරාජ්‍යවාදය යනු චීන කම්කරුවන්ගේ හා තරුණයින්ගේ මිතුරෙකු නොවේ. එයට වුවමනා කරන්නේ – ලෝක පරිමාණව එක්සත් ජනපද ධනවාදයේ ප්‍රධාන ප්‍රතිවාදියා වන – චීනය දුර්වල කිරීමට පමණි.
CCP යටතේ පවතින වර්තමාන ධනේශ්වර ගැති ක්‍රමය පිළිබඳවද අපට කිසිදු මිත්‍යාවක් නොතිබිය යුතුය. පාලන තන්ත්‍රයට යම් සහන ලබා දීමට පවා බල කෙරෙන තත්ත්වයන් ඇතිවිය හැකි නමුත්, එවැන්නක් කරන්නේ විරෝධතා විසුරුවා හැරීම වෙනුවෙන් පමණි. පසු කලක, අරගලය පහළ ගිය පසු, මෙම අරගලය සංවිධානය කිරීමට සම්බන්ධ ඕනෑම කෙනෙකුට එරෙහිව ඔවුන් දැඩි ලෙස පහර දෙනු ඇත.
මෙම පාලන තන්ත්‍රය යටතේ අව්‍යාජ සමාජවාදය දෙසට වන යම් ආකාරයක ප්‍රතිසංස්කරණ කළ හැකි බවට වන අදහසද බැහැර කළ යුතුය.
මර්දනය හරහා මෙම විරෝධතා මැඬපැවැත්වීමට පාලන තන්ත්‍රය පියවර ගතහොත්, එය නව පරපුරේ කම්කරුවන් හා තරුණයින් සඳහා ලබා දෙන බරපතල පාඩමක් වනු ඇත.
මර්දනය සහ සහන යන දෙක තුළදීම පාලන තන්ත්‍රයට විය හැකි අනතුරු පවතී. සහන ලබා දීම, මෙම රෙජීමය පෙන්වන තරම් බලවත් නොවන බව දක්වා සිටීමක් වන අතර, එමඟින් ජනතාව ධෛර්යමත් කරනු ඇත. ඒ අතර, මර්ධනය තුළ කෝපයේ ගිනිදැල් අවුලවාලීමේ අන්තරාය අඩංගුව පවතී.
සීමාව කරා ළඟා වීම
කෙසේ වුවද, මෙම අත්දැකීම් විසින් වඩාත් දියුණු ස්ථරවලට ධනේශ්වර-ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ හරහා ඔවුන් මුහුණ දෙන ගැටලුවලට කිසිදු ආකාරයක විසඳුමක් නැති බව වටහා ගැනීමට උපකාරී වනු ඇත.
පෙරට යා හැකි එකම ක්‍රමය වන්නේ CCP ධනවාදී රෙජීමය විප්ලවීය ලෙස ඉවත් කිරීම සහ අව්‍යාජ සමාජවාදී කම්කරු ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම හරහාය.
රෙජීමය විසින් පරාජය භාර ගැනීම ‍යන්න මත අරගලය තීර්‍රණය නොවිය යුතුය. ෂී ජින්පින් තන්ත්‍රය ඉහළින්ම සිටින පුද්ගලයා වෙත බලතල සංකේන්ද්‍රණය කර ඇති අතර රෙජීමයේ අරමුණ එය එලෙසින්ම තබා ගැනීමයි. යම් අවස්ථාවකදී, රෙජීමය පැත්තෙන් පළිගැනීම සිදුවනු ඇත. ඇත්තෙන්ම, 10,000 RMB දීමනාව ලබාගත් ඇතැම් චොංචෝ කම්කරුවන් ඔවුන්ගේ නිවෙස්වලදී අත්අඩංගුවට ගනු ලැබූ බවට දැනටමත් වාර්තා වී තිබේ.
කෙසේ වෙතත්, මෙම විරෝධතා ව්‍යාපාරය විසින් කම්කරුවන් හා තරුණයින් අතර ඇති ගැඹුරු අසහනය වසා සිටි පියන ඔසවනු ලැබ ඇත.
පංතීන් එකිනෙකින් වෙනස්වීමේ ක්‍රියාවලියක් සිදුවෙමින් පවතින අතර එය දශක ගණනාවක ධනවාදී සංවර්ධනය විසින් ඇතිකළ සමාජ ධ්‍රැවීකරණය තුළින් පැන නගී.
සියලු අසමානතාවයන් තිබියදීත් රැකියා උත්පාදනය, සමාජය සංවර්ධනය කිරීම, ප්‍රබල නිශ්පාදන යන්ත්‍රණයක් ඇති කිරීම කිරීම හරහා ධනවාදය කරා සංක්‍රමණය වීම වැඩ කරන බවක් පෙනෙන්නට තිබූ තාක් කල්, ජනතාව තුළ යම් දියුණුවක් ඇතිවන බවට හැඟීමක් විය;  ඊයේට වඩා අද හොඳ බවත් හෙට අදට වඩා හොඳ වනු ඇති බවත් ඔවුන්ට හැඟුණි.  නමුත් මෙය දැන් එහි සීමාවන්ට ළඟා වී ඇත.
ඉලක්කම් දෙකක වර්ධනයක් ලැබූ කාලය ගෙවී ගොසිනි. මේ වනවිට ධනවාදයේ සියලු ප්‍රතිවිරෝධතා චීනය තුළ ඇති අතර, ධනපති ක්‍රමය විසින් ජනතාව පාරටත් පංති අරගලය දෙසටත් තල්ලු කරයි.
චීනය තුළ පසුගිය වසර 40 ක කාලය තුළ වූ ධනවාදී පරිවර්තනය හා සංවර්ධනය විසින් මිහිතලය මත ඇති විශාලතම නිර්ධන පංතිය බිහි කර ඇති අතර එය දැන් මිලියන සිය ගණනක ගණනක් වේ. මෙම බලය ක්‍රියාත්මක වීම ඇරඹී ඇත. CCP නිලධරයට මෙන්ම චීන ධනපතියන්ට සහ විදේශීය ධනපතියන්ටද මෙම අලුත් සිදුවීම් ගැන කණස්සල්ලට පත්වීමට පවතින හොඳම හේතුව එයයි.

Related posts