2023 මැයි දිනය : කම්කරුවෝ ලෝකය වෙනස් කරති!

ලොව පුරා කම්කරුවන් විසින් මැයි දිනය සැමරීමේ අරමුණ වනුයේ ලෝකයේ කම්කරු අරගල යළි සිහිපත් කිරීමත්, කම්කරු අයිතීන් රැක ගැනීමට සහ සූරාකෑමට ඒරෙහිව අරගලය කිරීමට ඇති කැපවීම යළි යළිත් අවධාරණය කිරීම වන්නේය. 

ඉතිහාසය පුරාම ලෝක කම්කරු පංතිය සාධාරණ වැටුපක්, හොද සේවා තත්ත්වයන්, සමාජ සුරක්ෂිතභාවය සහ ගෞරවාන්විතව වැඩ කිරීමට ඇති අයිතිය වෙනුවෙන් අරගල කර ඇත. අද ලොව පුරා සෑම රටකම ධනපති පාලකයෝ මෙම අයිතීන් යටපත් කිරීමට උත්සාහ දරමින් සිටිති. ධනපති හාම්පුතුන්ට හිතුමතේ සේවා තත්ත්වයන් හැසිරවීම සදහා අවකාශ දීමට, විශ්‍රාම වැටුප් ක්‍රම අහෝසි කිරීමට, තරුණ පරම්පරාවට රැකියා අවස්ථාවන් අහිමි කිරීමට උත්සාහ කරමින් සිටිති. ධනපති පාලකයන් හා ඔවුන්ගේ ආණ්ඩු විසින් නම්‍යතාවයෙන් යුත් වැඩමුර (Flexible Working Hours), සහ ස්වයංකාරිත්වය (Autonomy) වැනි විවිධ උපාය යොදමින් පැය 24 පුරාම වැඩ ගැනීමටත්, අසනීප නිවාඩු හා අතිකාල දීමනා ඇතුළු මූලික කම්කරු අයිතීන් කපා හැරීමට ධනපති සමාගම්වලට අවකාශ ලබාදීමට අනවරත උත්සාහයක යෙදී සිටිති.

මෙම තත්ත්වය යටතේ මෙවර මැයි දිනය වෙන කවරදාටත් වඩා හුදු වාර්ෂික සැමරීමකට සීමා නොකර කම්කරු අයිතීන් සදහා අරගලය කිරීමට එක්සත් වීමටත්, නව උපාය මාර්ග ගැන යළි සිතා බැලීමටත්, පුළුල් සංවිධාන ව්‍යුහයක් ගොඩනගා ගැනීමටත් අවස්ථාවක් කර ගනිමු!

Related posts