මිනිස් වර්ගයාගේ අනාගත පැවැත්ම නිගමනය වනුයේ ලෝක කම්කරු පංතියේ සටන් සමගිය තුළින් පමණකි!

ශ්‍රී ලංකාව ඇතුළු අවශේෂ ලෝකයේ පවතින වත්මන් දේශපාලන, සමාජ-ආර්ථික හා පාරිසරික ගැටළු වඩාත් අර්බුදකාරී අවධියකට ගමන් කරන බව දැනටමත් බොහෝ දෙනෙකුගේ නිගමනයවී ඇත. මෙම අර්බුදකාරී තත්ත්වය කවර ආකාරවේදැයි කිසිවෙකුට කලින් නිගමනය කළ නොහැකිවී ඇත්තේ මෙම අර්බුදය හමුවේ ලෝකයේ වැඩ කරන ජනතාවගේ, එනම් ලෝක කම්කරු පංතියේ සංවිධිත ක්‍රියාකාරකම් කවරාකාර වේදැයි උපකල්පනය කළ නොහැකිවීම නිසාය. විවිධාකාරයෙන් බෙදී වෙන්වී හා අසංවිධිතවී ඇති ලෝක කම්කරු පංතිය හා ඔවුන්ගේ සංවිධාන ( වෘත්තීය සමිති ඇතුළු) මෙම අර්බුදයේදී ජාති, කුල, ආගම් භේද පසෙකලා සමගිවීම හා සංවිධාන ගතවීම කොතෙක්දුරට සාර්ථක වන්නේද යන්න මත නව ලිබරල්වාදී පිළිවෙත්වල ප්‍ර‍තිඵලයක් වශයෙන් පැන නැගී ඇති වත්මන් දේශපාලන, සමාජ-ආර්ථික, පාරිසරික අර්බුදයට විසදුම් සොයා ගැනීම නිගමනය වන බවත්, එසේ නොවුනහොත් මිනිස් වර්ගයාගේ පැවැත්ම මෙතෙක් නොවූ විරූ අනතුරකට ලක්වන බවත් පැහැදිලි කරුණකි.

ලෝකයේ බහුතරයක් ජනතාවට මෙම තත්ත්වය සිය අත්දැකීම් තුළින්ම වැටහී හෝ හැගී ගොස් ඇති නමුදු, පවතින තත්ත්වය වඩාත් යහපත් කළහැකි විකල්පයක් පැහැදිලිව හදුනා ගැනීමට තවමත් නොහැකිවී ඇත.

සමහර ලෝක නායකයන් පවතින නිශ්පාදන ක්‍ර‍මය මානුෂික කරණය සදහාවූ ප්‍ර‍තිසංස්කරණ ගෙනඒම වෙනුවෙන් පෙනී සිටින අතර, තවත් කොටසක් ධනවාදය සම්පූර්ණයෙන්ම අතුගා දැමීමේ දිගුකාලීන අරමුණ වෙනුවෙන් වෙහෙස වෙති.

මෙම සන්දර්භය තුළ ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝකයේ අවශේෂ රටවලද අඩු-වැඩි වශයෙන් කෙරෙන “දේශපාලන සංවාදය“ තුළ “සමාජවාදය“ පිළිබද බලාපොරොත්තුව පැවතියද, එය සාක්ෂාත් කර ගැනීම කෙරෙහි පවතිනුයේ උදාසීන හැගීමකි. විශේෂයෙන් වාමාංශික “බුද්ධිමතුන්“ වශයෙන් ශ්‍රී ලංකාව තුළ පෙනී සිටින්නන් හට මේ පිළිබද විශ්වාසයක් නොමැත. ඔවුන් දකින ආකාරයට “සමාජවාදය“ යන්නේ අර්ථය දැනටමත් බිදවැටී ඇති දෙයකි. ඔව්හු සමාජ පංතීන්ගේ පැවැත්ම හා පංති සටන පිළිබද තවදුරටත් කථා නොකරති; නැතහොත් එම වචන වෙනුවට වෙනත් වචන භාවිතා කරති. මීට හොඳම නිදසුනක් වනුයේ ශ්‍රී ලංකාවේ මධ්‍යම පංතිකයන් වශයෙන් සැලකෙන වෛද්‍යවරුන් සහ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් තමන්ව හදුන්වා ගනුයේ වෘත්තීය වේදීන් වශයෙනි; ඔව්හු කම්කරු  පංතියෙන් වියුක්තවූ වෙනම ප්‍රභූ ස්ථරයක් ලෙස පෙනී සිටීමට උත්සාහ කරති. මෙම වැඩවසම්වාදී මනෝභාවයන් හේතු කොටගෙන ශක්තිමත් පංති බලවේගයක් ගොඩනගා ගැනීමට අසමත් වී ඇත. 

පසුගිය වසර 40 පුරා, අමෙරිකා එකසත් ජනපදයේ ජනාධිපතිවූ රේගන්ගේ හා බ්‍රිතාන්‍යයේ අගමැතිනියවූ මාර්ග්‍ර‍ට් තැචර්ගේ පටන් ලොව ධනපති පංති පාලකයන්ගේ යකඩ සපත්තුවලින් පාගා දමන ලද හා චිලියේ පිනෝචේගේ පටන් ශ්‍රී ලංකාවේ ජේ. ආර්. ජයවර්ධන දක්වාවූ කෘරතර පාලකයන් විසින් මර්දනයෙන් යටපත් කරන ලද වෘත්තීය සමිති හා කම්කරු ව්‍යාපාරයේ දිගුකාලීන දුර්‍වල තත්ත්වයෙන් තවමත් ලෝක කම්කරු පංතියට  ශක්තිමත්ව නැගී සිටීමට නොහැකිවී ඇත. අද ප්‍රංශය තවමත් වෘත්තීය සමිති කෙෂ්ත්‍රයේ යම් ශක්තියක් පවත්වා ගෙන ගියද අනිකුත් බටහිර ධනපති රටවල කම්කරු සංවිධාන පවතිනුයේ දුර්‍වල තත්ත්වයකිනි.

මෙම තත්ත්වය යටතේ ලෝක ධනපති පංතියේ අත්තනෝමතික බලයට එරෙහිව කම්කරු පංතිය පැත්තෙන් පංතිමය තර්ජනයක් නොමැතිවීම නිසා සමස්ත පීඩිත ජන ව්‍යාපාරය අන්ද මන්දවී ඇත. ලොව පුරා පීඩිත ජන කොටස් පවතින අත්තනෝමතික හා ප්‍ර‍ජාතන්ත්‍ර විරෝධී ධනපති රාජ්‍යයන්ට එරෙහිව තමන්ට බලපාන ස්ථානගත හා කලාපීය ප්‍ර‍ශ්න පදනම් කරගෙන ජාතිකවාදී, වර්ගවාදී හා ආගම්වාදී විවිධ පසුගාමී මතවාදයන්ට නැඹුරුවී ඇත. මෙහි මහත් ව්‍යසනකාරී ප්‍ර‍තිඵලයවී ඇත්තේ විවිධාකාර ත්‍ර‍ස්තවාදී සංවිධාන බිහිවීමත්, ඒවායේ ප්‍ර‍හාරයන්ට හා ඒවාට ප්‍ර‍තික්‍රියා වශයෙන් ධනපති රාජ්‍යයන්හි සන්නද්ධ හමුදා දියත් කර ඇති යුධ ප්‍ර‍හාරයන්ට සමස්ත ලෝක ජනතාවටම ගොදුරුවීමට  සිදුවීමයි.

මෙම අවාසි සහගත හා අර්බුදකාරී තත්ත්වය හමුවේ වුවද, ලෝකයේ පීඩිත ජන අරගලයන් විටෙක ඉදිරියට යමින්ද, විටෙක පසු බසිමින්ද තම පැවැත්ම සදහා නොනවතින අරගලයක යෙදී සිටිති. එහෙත් ධනපති පංතියේ අත්තනෝමතික, දූෂිත හා ප්‍ර‍ජාතන්ත්‍ර‍ විරෝධී පාලන තන්ත්‍ර‍ය පරාජය කළ හැකි බලවේගය වනුයේ සංවිධිත කම්කරු පංති බලවේගය බව තේරුම් ගත නොහැකිවී හෝ කම්කරු පංති බලවේගයක් ගොඩනැගීම සදහා වෙහෙසීමට මැලිවී ඇති හෝ කම්කරු පංතියේ ශක්තිය පිළිබදව විශ්වාසයක් නොමැති හෝ වාමාංශික “බුද්ධිමතුන්“ පවතින රාජ්‍යය හා එය ප්‍ර‍ජාතන්ත්‍ර‍කරණය පිළිබදව අන්ද මන්දවූ ආකාරයෙන් විවිධ මතවාද දොඩවති. එහෙත් අද ලෝකයේ කම්කරු පංතිය ප්‍ර‍මුඛ පීඩිත ජනතාව අද සිටින තැනින් අගලක්වත් ඉදිරියට ගෙනයෑමට ගත හැකි හා ගත යුතු ක්‍රියා මාර්ග ගැන සොයා නොබලති; අවධානය යොමු නොකරති.

මෙම තත්ත්වය තුළ ලෝකයේ කම්කරු පංතිය ඇතුළු පීඩිත ජනතාව තමන්ගේම වූ සංවාදයක් හරහා ලෝකයේ සියළුම පීඩිත ජන අරගල ඒකාබද්ධ කළ හැකි ක්‍රියා මාර්ගයක් හා වැඩ පිළිවෙලක් සොයා ගැනීමේ කාර්යභාරයට උරදීම 2023 වසරේ අප සැමට පැවරී ඇති කාර්යභාරය වන්නේය. නව ලිබරල්වාදී පිළිවෙත්වල ප්‍ර‍තිඵලයක් වශයෙන් ලෝකය පුරා දේශපාලනික, සමාජ-ආර්ථික හා පාරිසරික වශයෙන් මතුවී ඇති විනාශකාරී ක්‍රියාවලිය නැවැත්වීමට හෝ යම් තරමකට පාලනය කිරීමට හෝ හැකිවනුයේ කම්කරු පංති බලවේග ශක්තිමත් වන ප්‍ර‍මාණයටය. ජාති, කුල, ආගම් හා වාර්ගික නැතහොත් කළු-සුදු වශයෙන් පීඩිත ජනතාව භේද භින්නවී එකිනෙකා ඇනකොටා ගන්නා විනාශකාරී ක්‍රියාදාමය නැවැත්විය හැක්කේත්, සමගි සන්ධානය ඇතිකළ හැක්කේත් ලොව පුරා කම්කරු පංති බලවේග ජාතික වශයෙනුත් ජාත්‍යන්තර වශයෙනුත් එක්සත් වන ප්‍ර‍මාණයටය. එසේ නොමැතිව ධනපති පංති පාලනයේ අන්ත දූෂිත පාලක ප්‍ර‍භූන්ට “යහ පාලනය, ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදය, නීතියේ ආධිපත්‍යය“ ඇති කරන ලෙස කන්නලව් කරමින් කාලය කා දැමීම මගින් මිනිස් වර්ගයාගේ පැවැත්ම ඉතාමත් අනතුරුදායක අවධියකට ළගාවනු ඇත.

වත්මන් සමාජ-ආර්ථික, දේශපාලන හා පාරිසරික ආදී මිනිසාගේ පැවැත්ම ව්‍යසනයට ලක්කර ඇති ගැටළුවලට ජනතාවාදී විසදුම් සාකච්ඡා කෙරෙන සාකච්ඡා සභාවන් ලොවපුරා මතුවී ඇති අතර වි‍ශේෂයෙන් ඇමෙරිකාවේ, ප්‍ර‍ංශයේ හා ජර්මනියේ සරසවි සිසුන් ඇතුළු වාමාංශික තරුණයන් යළි මාක්ස්වාදය හැදෑරීමටත්, සමාජවාදය පිළිබද ප්‍ර‍ශ්න සාකච්ඡා කිරීමටත් පටන්ගෙන ඇත. 

ලෝක ජනගහණයෙන් ඉතාම සුළුතරයක් වන ධනපති පංතියේ හා එම පංතියට බැලමෙහෙවර කරන ශ්‍රී ලංකාවේ  රනිල් හා රාජපක්ෂ දූෂිත ධනපති පංති ප්‍ර‍භූන් තම සතුරු පංතියට අයත් වන බව තේරුම් ගැනීමටත්, තමන්ගේ අනාගතය විසදීමට මෙම ධනපති පංති  ප්‍ර‍භූන්ට බාරදී බලා සිටීම වෙනුවට කම්කරු පංතියේ  හා පීඩිත ජනතාවගේ ස්වායත්ත සංවිධාන හරහා ක්‍රියා කිරීමේ අවශ්‍යතාවය තේරුම් ගැනීමටත්, ලෝකයේ බහුතරයක් වන වැඩ කරන ජනතාව  මුහුණ දෙන ප්‍ර‍ශ්නවලට අපගේම විසදුම් සොයා ගැනීමටත් 2023 වසරේදී උත්සාහ කරමු!

මෙම කාර්යභාරයේ අප සාර්ථක වන්නේද? නැද්ද? තීරණය වනුයේ අප ක්‍රියාකාරිත්වය තුළින් අනාගතයේදී ගොඩනැගෙන්නේ කුමන ආකාරයේ විකල්ප ජනතා ව්‍යාපාරයක්ද යන්න මතය.

විල්ප්‍ර‍ඩ් සිල්වා

01.05.2023

Related posts