සෑම වසරකම දෙසැම්බර් 10, මානව හිමිකම් දිනය ලෙසින් සැමරේ.

රාජු ප්‍ර‍භාත් ලංකාලෝක විසිනි

සෑම වසරකම දෙසැම්බර් 10, මානව හිමිකම් දිනය ලෙසින් සැමරේ. එම දිනය සනිටුහන් කරන්නේ, 1948 දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය (UDHR) සම්මත කිරීමයි.

මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය මානව අයිතිවාසිකම් සහතික කිරීම වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් විසින් භාවිතා කළ යුතු පොදු ප්‍රමිතිය ලෙස සලකනු ලබයි. එසේ වුවද, රාජ්‍යයන්ට ඒවායේ වුවමනාවන්ට අනුගත වෙමින් එය ක්‍රියාවට නැඟීමේ නිදහස ඇති අතර, ඔවුන් මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ ඇති සියලුම වගන්තිවලින් බැඳී නොසිටී. මානව හිමිකම් ආරක්ෂා කිරීමේ ඉදිරිගාමීන් ලෙස පෙනී සිටින රටවල්ද ඇතුළුව කිසිම රටක් මෙම ප්‍රකාශනය මුළුමණින්ම ක්‍රියාත්මක කොට නොමැත.

දෙවන ලෝක යුද්ධයෙන් පසු, 1945දී, එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවන ලදී. එහි අසාර්ථක පූර්වගාමියා වූ ජාතීන්ගේ සංගමයට සමානව, එක්සත් ජාතීන්ගේ සංවිධානයද එය පැවති කාලය තුළ තම අසමත් බව ඔප්පු කර ඇත.

එක්සත් ජාතීන් පාලනය කරනු ලබන්නේ ප්‍රධාන අධිරාජ්‍යවාදී බලවතුන් විසින් වන අතර එයට ක්‍රියා කළ හැක්කේ මෙම බලවතුන් එකඟ වූ විට පමණි. එබැවින් එය ක්‍රියාත්මක වන්නේ පොදුවේ ධනපති පන්තියේ සහ විශේෂයෙන් අධිරාජ්‍යවාදී බලවතුන්ගේ අවශ්‍යතා ප්‍රවර්ධනය කිරීම සඳහා පමණි.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය තුළදී, පිළිගත් සියලු රටවලට එක් ඡන්දයක් බැගින් ලැබෙන අතර, එම නිසාම ඒ තුළ, එක්සත් ජනපදයේ සහ අනෙකුත් ප්‍රධාන බලවතුන්ගේ කැමැත්තට එරෙහිව යෝජනා ගණනාවක් සම්මත වී ඇත. නිදසුනක් වශයෙන්, 1993 සිට මහා මණ්ඩලය තුළ සම්මත වූ මෙතෙකැයි කිව නොහැකි යෝජනා ගණනාවක් මඟින් එක්සත් ජනපදය විසින් කියුබාවට සම්බාධක පැනවීම හෙළා දැක ඇති නමුත් එක්සත් ජනපදය එම සම්බාධක පවත්වාගෙන යාම නවතා නැති අතර, එය වඩාත් උත්සන්න කොට වෙනත් රටවලටද ව්‍යාප්ත කොට ඇත.

යථාර්ථයේදී, එක්සත් ජාතීන් සිටින්නේ එහි ඇති ගෞරවාන්විත ප්‍රතිරූපයට වඩා බෙහෙවින් පහළිනි. ලෝකය පුරාම විශාල ලෙසින් ළබැඳියාවන් අතර ගැටුම් පවතිද්දීත්, එය භාවිතා කරන්නේ නම්, ලෝක සාමය සුරක්ෂිත කිරීම සඳහා එක්සත් ජාතීන්ට බලයක් ඇති බවට කරන ප්‍රකාශයන් සත්‍යයෙන් තොරය.

සන්නද්ධ ගැටුම් 300 කට වැඩි ගණනක සිට සහස්‍ර සංවර්ධන අරමුණු සහ තිරසාර සංවර්ධන අරමුණු දක්වාම එක්සත් ජාතීන් කියාපාන්නේ එකකට පසු එකක් වශයෙන් ඇති තම අසාර්ථකත්වයයි.

පැහැදිලිවම, ධනවාදයේ නිමක් නැති ප්‍රචණ්ඩත්වය නවතාලීමට එක්සත් ජාතීන්ට බලයක් හෝ උනන්දුවක් නැත. එක්සත් ජාතීන් කරනුයේ තම ප්‍රතිවිරෝධී වුවමනාවන් නිසා කිසිවිටෙක එකඟ නොවන, නියත ලෙසින් අසාර්ථක වීමට නියමිත, නිමක් නැති සාකච්ඡා සඳහා බලවතුන්ට පහසුකම් සැපයීම පමණි.

එක්සත් ජාතීන් විසින් පවත්වන සාකච්ඡාවලට විශ්මිත බලයක් නොමැත. ඔවුන් හුදෙක් ධනවාදී බලවතුන්ගේ අධිරාජ්‍ය සැලසුම් සඳහා කාලය සහ රාජ්‍ය තාන්ත්‍රික ආවරණය ලබා දීමේ උපකරණක් ලෙස සේවය කරයි. එක්සත් ජාතීන් හරහා සාකච්ඡා කිරීම තුළින් අනෙක් අධිරාජ්‍යවාදී බලවතුන්ගේ අනුමැතිය ලැබූ පමණින් අධිරාජ්‍යවාදී ක්‍රියාවක අධිරාජ්‍යවාදී බව කිසි ලෙසකින් හෝ අඩු නොවේ. එක්සත් ජාතීන්ගේ යෝජනාවකට කළ හැක්කේ යුද්ධය යුක්ති සහගතය යන මිත්‍යාව ගිල්ලවීමට පමණි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමද මේ වනවිට බොහෝ විට ක්‍රියා කරන්නේ බටහිර අධිරාජ්‍යවාදී රටවල වුවමනාවන්ට අනුවය. බටහිර බලවත් රටවල් වෙනත් රටවල මානව හිමිකම් ගැන කතා කරනුයේ සැබවින්ම එම රටවල ජනයාගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නොව, තම විදේශ ප්‍රතිපත්තිය ඉදිරියට ගෙන යාම වෙනුවෙන් එකී රටවලට බලපෑම් එල්ල කළ හැකි මාර්ගයක් ලෙසිනි. තම අධිරාජ්‍යවාදී වුවමනාවන් සමග ගැලපේ නම් ඔවුන් කිසිවිටෙක මානව හිමිකම් ගැන කිසිදු සැලකිල්ලක් නොදක්වයි. ඊශ්‍රායලය විසින් පලස්තීන ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම, සෞදි අරාබිය විසින් දැවැන්ත යුධ බලයක් යොදවමින් යේමන ජනතාව සංහාරය කිරීම, අධිරාජ්‍යවාදීන්ට හිතවත් මැදපෙරදිග සියලු රටවල් විසින් සිදු සිදු කරන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ඒ වෙනුවෙන් දිය හැකි ඉතා කුඩා උදාහරණ කිහිපයක් පමණි.

මෙම වසරේ සැමරුම සඳහා තේමාව වන්නේ “ සැමට ගෞරවය, නිදහස සහ යුක්තිය” යන්නයි”. මෙවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් දිනය දියත් කිරීමේ ප්‍රකාශයේ දක්වා ඇති පරිදි “ලෝකය– වසංගත, ගැටුම්, අසමානතාවයන් පුපුරා යාම, සදාචාරාත්මකව බංකොලොත් ගෝලීය මූල්‍ය ක්‍රමය, වර්ගවාදය, දේශගුණික විපර්යාස වැනි – නව හා අඛණ්ඩ අභියෝගයන්ට මුහුණ දෙන විට මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය විසින් ලබාදී ඇති පොරොන්දුව, අයිතිවාසිකම්වල ගෞරවය සහ සමානාත්මතාවය, මෑත වසරවලදී බරපතල ප්‍රහාරයකට ලක්ව තිබේ.” ඔවුන්ගේම වචනවලින් පෙනී යන්නේ, මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය සම්මත වී වසර 75 ක් ගතවන විටදීත්, ජනතාවගේ තත්ත්වයන් වඩා ‍යහපත්වී නැති බවත් එය වඩාත් නරක හා පරස්පර විරෝධී මවතකට අවතීර්ණ වී ඇති බවත්ය.

ධනවාදයට ජනතාවගේ අයිතිවාසිකම් ගැන උනන්දුවක් හෝ සැලකිල්ලක් නොමැති අතර, ඔවුන් උනන්දු වන්නේ ඔවුන්ගේ ලාභ උපරිම කර ගැනීම වෙනුවෙනි. වසර ගණනාවක් පුරා, සමාජ අසමානතාවය වර්ධනය වී ඇති අතර එය විසින් පුද්ගලයන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම හා වෙනස් කොට සැලකීම හා සඳහා මඟ පාදා ඇත. කම්කරුවන්ට සමාන ලෙස සැළකීමක් නොකරන අතර ඔවුන්ට ඔවුන්ගේ අයිතීන් ගැන ප්‍රශ්න කිරීමේ සහ ඔවුන්ගේ අයිතිවාසිකම් ඉල්ලා සිටීමේ අයිතිය අහිමි කොට ඇත. ජීවත්වීමට ඇති අයිතිය අප ඉල්ලා සිටිය යුත්තේ කාගෙන්ද යන්නද අද මතුවන ප්‍රහ්නයකි. දවසින් දවස ජීවන තත්වයන් නරක අතට හැරෙමින් පවතින හෙයින්, ජීවිත් වීමට ඇති අයිතිය සැක සහිත වී ඇත. එබැවින්, විවිධ ආයතන කෙරෙහි ඇති අන්ධ විශ්වාසය අවසන් කර සමාජවාදය සඳහා සටන් කීරීමට කාලය පැමිණ ඇත.

ධනවාදයේ නිමක් නැති ප්‍රචණ්ඩත්වය කුමන ආකාරයකින් හෝ නැවැත්වීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයට හෝ වෙනත් ආයතනයකට හෝ බලයක් හෝ උනන්දුවක් නොමැත. මෙම ප්‍රචණ්ඩත්වය අවසන් කළ හැක්කේ ධනවාදය පෙරලා දමා සමාජවාදය ස්ථාපිත කිරීමෙනි. එබැවින්, පංති විරහිත සමාජයක් එනම් සෑම කෙනෙකුගේම අවශ්‍යතා පිළිබඳ එකඟතාවයකින් යුතුව, සහයෝගීතාව මත පදනම්ව පන්ති සමාජය තුරන් කිරීම සාමයෙන් හා තෘප්තියෙන් යුතුව ඉදිරියට යා හැකි එකම මාර්ගයයි.

Related posts