රාජ්‍ය බැංකු කොටස් විකිණීමට එරෙහිව සහ බදු ප්‍රතිපත්ති සංශෝධන, කම්කරු නීති සංශෝධන හා විවිධාකාර මර්දන ඔස්සේ වැඩකරන ජනතාව පීඩාවට පත්කිරීමට එරෙහිව.

විජේපාල වීරකෝන් විසිනි

ලංකා බැංකු සේවක සංගමයේ ඉතා සුවිශේෂී මධ්‍යම කාරක සභා රැස්වීමක් අද දින කොළඹදී පැවැත්වුන අතර මෙහිදී බැංකු සේවකයින්ට මෙන්ම වැඩකරන ජනතාවට බලපාන ආණ්ඩුව විසින් ඉදිරිපත් කර ඇති අහිතකර අයවැය යෝජනා පරාජය කිරීම සඳහා ලංකා බැංකු සේවක සංගමය කටයුතු කළ යුතු බවට ඉතා වැදගත් යෝජනා දෙකක් ඒකමතිකව සම්මත කරගැනීම සිදු විය.

මෙම විශේෂ මධ්‍යම කාරක සභාව ලංකා බැංකු සේවක සංගමයේ සභාපති චන්න දිසානායක සහෝදරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වු අතර අදාල යෝජනා නිලධාරී මණ්ඩලයේ යෝජනා ලෙස සභාවට ඉදිරිපත් කිරීම සිදු කලේ ප්‍රධාන ලේකම් රන්ජන් සේනානායක සහෝදරයා විසිනි.

එම සුවිශේෂී යෝජනා දෙක ඔබේ දැනගැනීම සඳහා පහතින් සටහන් කරමු.

යෝජනා අංක 01

රාජ්‍ය බැංකු කොටස් විකිණීමට එරෙහිව.

රටේ පවතින ආර්ථිකයට උරදෙන පොදු මහජනතාවගේ ජීවන තත්වය නඟා සිටුවීමට අත දෙන රාජ්‍ය බැංකු සිය සේවාව සලසන අතර යම් ලාභයක් ද උපයමින් දශක ගණනාවක් රටේ මූල්‍ය හා බැංකු පද්ධතිය තුළ අද්විතීය කාර්යභාරයක් ඉටු කර ඇත. විශේෂයෙන්ම ප්‍රධාන වාණිජ බැංකු දෙක වන ලංකා බැංකුව හා මහජන බැංකුව විසින් එහිදී උසුලන ලද කාර්යභාරය නොවන්නට අපේ රට මේ වන විටත් දැනට වැටී ඇති මට්ටමට ද වඩා ආර්ථිකමය වශයෙන් පහළට ඇද වැටෙනු නොඅනුමානය. එසේම රාජ්‍ය බැංකු අද දක්වාම ලාභ උපයමින් එතුලින් මහා භාණ්ඩාගාරයට බදු හා ලාභාංශ ගෙවමින් රට හා ජනතාව වෙනුවෙන් තම යුතුකම් කොටස මනාව ඉටුකර ඇත.

එවන් වූ රාජ්‍ය බැංකුවල කොටස්වලින් 20% පුද්ගලික අංශයට විකිණීම ජාතික අපරාධයක් වන අතර එය මෙම බැංකු පූර්ණ වශයෙන්ම විකුණා දැමීමේ මුල් පියවර මිස අන් කිසිවක් නොවන බව ඉතිහාසය පුරා ඒ ඒ ආණ්ඩු විසින් මෙවැනි ක්‍රියාමාර්ග හරහා රාජ්‍ය ව්‍යවසායන්ට අත්කරදුන් ඉරණම හොඳින් දන්නා අපහට රහසක් නොවේ.

පවතින ආර්ථික අර්බුදයට විසඳුම් බැංකු ඇතුලු ජාතික සම්පත් විකුණාගෙන කෑම නොව ඒවායේ කළමනාකරණය හා ව්‍යාපාරික සැකැස්ම වඩාත් ශක්තිමත් කරමින් දේශපාලන අතපෙවීම් වලින් තොරව ආයතනික යහපාලනය තුළින් ඒවා ක්‍රියාත්මක වීමට ඉඩ සැලසීමයි. විවිධ රාජ්‍ය බැංකු ජනතාවට දැනටද වඩා සේවයක් සලසමින් වඩා ලාභයක් උපයමින් මීට වඩා ප්‍රගමනකාරීව ඉදිරියට යනු ඇත.

එබැවින් ඉතිහාසය පුරා රාජ්‍ය බැංකු පුද්ගලිකකරණයෙන් රැකගත් වෘත්තීය සංගමයක් ලෙස අප රාජ්‍ය බැංකු කොටස් වෙළඳපොලේ විකිණීමට දරණ මෙම උත්සාහය පරාජය කරන බව සපථ කර සිටින අතර ඒ සඳහා අඛණ්ඩ වැඩ වර්ජනයක් දක්වා වූ ඕනෑම ක්‍රියාමාර්ගයකට එළඹීය යුතු බවට මෙම සභාවට යෝජනා කර සිටී.

යෝජනා අංක 02

බදු ප්‍රතිපත්ති සංශෝධන, කම්කරු නීති සංශෝධන හා විවිධාකාර මර්දන ඔස්සේ වැඩකරන ජනතාව පීඩාවට පත්කිරීමට එරෙහිව.

රජය විසින් ඉදිරිපත් කර ඇති නව බදු සංශෝධන තුලින් මාසික ආදායමක් ලබන වැඩ කරන ජනතාව දැඩි පීඩාවකට පත්කර ඇත. අප කිසිවිටෙක සෘජු බදු අය කිරීමට විරුද්ධ නොවෙමු. දැනටත් අප එලෙස බදු ගෙවමින් සිටින්නෙමු. නමුත් ආර්ථිකය හැකිළි, උද්ධමනය ඉහළ ගොස්, මාසික වැටුප් පතේ වටිනාකම රොකට් වේගයෙන් පහළ බැස ඇති මොහොතක පැවති බදු එකවර අසාමාන්‍ය ලෙස ඉහළ නැංවීමට අපගේ විරෝධය පල කරමු. එබැවින් මෙම නව බදු පැනවීම සඳහා මේ වනවිට අප ඇතුලු වෘත්තීය සංගම් ගණනාවක් පොදුවේ ප්‍රතියෝජනා ඉදිර්පත් කර ඇත.

එසේම ආසියාවේ කම්කරු නීතිරීති ඉතා ලිහිල් මට්ටමක පවතින අප රටේ ආයෝජකයන් නොපැමිණෙන බව පවසමින් එම නීති තව තවත් ලිහිල් කරමින් කම්කරුවාට ඇති සුරක්ෂිත භාවය ඉවත් කිරීමට දරණ උත්සාහයට අප තරයේ විරුද්ධ වෙමු, යම් නිතිරීති කාලානුරූ පිට අලුත්විය යුතු වේ නම් එය සිදු විය යුත්තේ රජය, හාම්පුතුන් හා වෘත්තීය සමිති අතර පොදු එකගතාවයකිනි. එසේ නොමැතිව කිසිඳු විනිදභාවයකින් තොරව ‘ ඒකීය කම්කරු නීති මාලාවක් ස්ථාපිත කිරීමට උත්සාහ දරන්නේ නම් අප එයට එකහෙලා විරුද්ධ වෙමු.

ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාව තුලින් රැස්වීමට කථා කිරීමට, අදහස් ප්‍රකාශයට ඇති අයිතියට බාධා පමුණුවමින් සිටින අතර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වැනි අණ පනත් භාවිතා කරමින් ශිෂ්‍ය, වෘත්තීය සංගම්, දේශපාලන ක්‍රියාකාරිකයන් මර්දනයට රජය උත්සාහ කරමින් සිටී. මෙය ප්‍රජාතන්ත්‍රවාදයට පටහැගි ප්‍රතිගාමී ඒකාධිපති  ක්‍රියා දාමයක් දක්වා වර්ධනය වන බවක් දක්නට තිබේ. එබැවින් ජනතාවගේ සිවිල් අයිතිය මෙන්ම වැඩකරන ජනතාවගේ කම්කරු අයිතිවාසිකම් යටපත් කරමින් දියත් කරනු ලබන සකලවිධ මර්දනයන් අප තරයේ හෙළා දකිමින් විරෝධය පලකර සිටිමු.

ඉහත සඳහන් සියලු ප්‍රතිගාමී ක්‍රියාදාමයන් පරාජය කිරීම සඳහා විවිධ පාර්ශව හා සන්ධානගතවීමට හා අඛණ්ඩ වැඩවර්ජනයක් දක්වා වූ ඕනෑම වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කිරීමට සංගමය කටයුතු කළ යුතු බවට මෙම සභාව යෝජනා කර සිටී.

ලංකා බැංකු සේවක සංගමය
 Ceylon Bank Employees’ Union – CBEU
2022.12.15

Related posts