ලෙනින්- ඔහුගේ කාලයේ සිටි ශ්‍රේෂ්ඨතම විප්ලවවාදියා වේ!

රාජු ප්‍ර‍භාත් ලංකාලෝක විසිනි

1924 ජනවාරි 21 දින සෝවියට් සංගමයේ සහ කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ නායකයා වූ ව්ලැඩිමීර් ඉලිච් උලියානොව් දිගු කලක් රෝගාතුරව සිට මිය ගියේය. ඒ වනවිට ඔහුගේ වයස අවුරුදු පනස් තුනකි. ඔහුගේ ජීවිතය ආවරණය වී තිබුණේ, පළමු ලෝක සංග්‍රාමයෙන් සහ 1917 රුසියානු විප්ලවයෙන් කූටප්‍රාප්තියට පත්, දහනව වන සියවසේ අවසාන කාර්තුව සහ විසිවන සියවසේ මුල් කාර්තුව සමයේ පැවති ගැඹුරු කැලඹීම්, අර්බුද සහ පරිවර්තනයන්ගෙන්ය. මෙම යෝධ මිනිසා ඔහුගේ කාලයේ සිටි ශ්‍රේෂ්ඨතම විප්ලවවාදියා බවට සැකයක් නැත. ඔහුගේ ක්‍රියාවන් විසින් 20 වන සියවස තුළ ඉතිහාසයේ ගමන් මග වෙනස් කළේය.

1870 අප්‍රේල් 10 දින වොල්ගාහි සිම්බිර්ස්ක්හි උපත ලද ලෙනින්, දේශපාලන යෝධයෙකු බවට සැකයක් නැත. ඔහු විසිවන සියවසේ විශිෂ්ඨතම විප්ලවවාදියා විය. කම්කරු පන්තියේ අවසාන ජයග්‍රහණය කෙරෙහි විශ්වාසය තැබූ ඔහු තම ජීවිත කාලය පුරාම විප්ලවවාදියෙක් සහ මාක්ස්වාදියෙක් විය. ලෙනින් උපත ලැබුවේ මෙම ගුණාංග සමඟ නොවුවද, ඉගෙනීම සහ අත්දැකීම්වලත්, න්‍යාය සහ ප්‍රායෝගිකත්වයේත් එකතුවක් හරහා ඔහු තම චරිතය ගොඩනඟා ගති. වයස අවුරුදු 23 වන විට, ලෙනින්ගේ පෞරුෂය, ජීවිතය පිළිබඳ ඔහුගේ දෘෂ්ටිය සහ ඔහුගේ ක්‍රියාකලාපයේ මූලික ලක්ෂණ සියල්ල සකස් කොටගෙන තිබුණි. ඔහුගේ ජීවන සුසුම විප්ලවය විය. අරමුණෙහි ඒකාත්මිකවීම තුළින් මෙම දැවැන්ත ඓතිහාසික කර්තව්‍යයන් ඔහු සම්පූර්ණයෙන් සහ නියම වශයෙන් ඉටු කළේය. වසර ගණනාවක් පුරා මාක්ස්වාදයේ මූලික අදහස් අධ්‍යයනය කිරීමෙන් හා එය දැඩි පුහුණුවීම් සමඟ සංයෝජනය කිරීමෙන් ලෙනින් අප දන්නා ශ්‍රේෂ්ඨ මිනිසා සහ ගුරුවරයා බවට පත්විය.

පුළුල් අර්ථයෙන් ගත් කල, මාක්ස් සහ එංගල්ස්ගේ මරණයෙන් පසු අව්‍යාජ මාක්ස්වාදයේ ආරක්ෂාව ඉලිච් ලෙනින් වෙත පැටවුණි. ඔහුගේ අසීමාන්තික වැඩ කිරීම සහ විශ්වාසය නිසාවෙන් ඔහු පළමු සාර්ථක සමාජවාදී විප්ලවය සඳහා මාවත සකස් කළ අතර ලෝක ඉතිහාසයේ ගමන් මග වෙනස් කළේය.

“මානව වර්ගයා අධිරාජ්‍යවාදය සහ අධිරාජ්‍යවාදී යුද්ධ විසින් නිර්මාණය කරන ලද මංමුලා සහගත වියවුලෙන් ගලවාගත හැක්කේ නිර්ධන පංති සමාජවාදී විප්ලවයට පමණණි” යනුවෙන් ලෙනින් ලිවීය. “විප්ලවයට කුමන දුෂ්කරතා, විය හැකි තාවකාලික ආපසු හැරීම් සහ ප්‍රති-විප්ලවයේ කුමන බලපෑමකට මුහුණ දීමට සිදු වුවත්, නිර්ධන පංතියේ අවසාන ජයග්‍රහණය ස්ථිරය.”

විප්ලවවාදී ව්‍යාපාරය තුළ ලෙනින්ගේ තත්ත්වයේ පුද්ගලයන් දුර්ලභය. මේ ලිපියෙන් අපි සියළු දෙනාට ලෙනින් කෙනෙක් හෝ මාක්ස් කෙනෙක් වෙන ලෙසට අභියෝග නොකරමු. අප අපම විය යුතුය. කෙසේ වෙතත්, අනාගතයේදී අප විසින් ඉටු කරනු ලබන කාර්යභාරය සඳහා අප න්‍යායාත්මකව සහ දේශපාලනිකව දියුණු වෙමින්, අපවම වෙනස් කර ගැනීමේ අභියෝගය අපට ඇත. අපට ඉදිරියෙන් ගිය ශ්‍රේෂ්ඨ මාක්ස්වාදීන්ගේ කර මත නැගී සිටීම ගැන අපි ආඩම්බර වෙමු. අපි, ඔවුන් මෙන්, ඉතිහාසය පිළිබඳ හැඟීමකින් සහ මානව වර්ගයාගේ පන්ති විරහිත අනාගතය කෙරෙහි වන දැඩි විශ්වාසයෙන් බැඳී සිටිය යුතුය.

මාක්ස් ගැන සඳහන් කරමින් ඔහුගේ මරණයෙන් පසු, ඔහුගේ විප්ලවීය පණිවිඩය බොඳ කරන අයට එරෙහිව ලෙනින් අනතුරු ඇඟවීය:

“මහා විප්ලවවාදීන්ගේ ජීවිත කාලය තුළ, පීඩක පංති ඔවුන්ට නිර්දය ලෙස පීඩා විඳීමට සළසා ඇති අතර, ඔවුන්ගේ ඉගැන්වීම් භාරගනු ලැබුවේ ම්ලේච්ඡ සතුරුකම, කෝපාවිෂ්ට වෛරය සහ බොරු ගෙතීමේ හා අපහාස කිරීමේ කුරිරු උත්සාහයන් සමඟ‍ය. කෙසේවෙතත්, ඔවුන්ගේ මරණයෙන් පසු, පීඩිත පංතීන් රැවටීමේ පරමාර්ථයෙන් ඔවුන් වටා ප්‍රභාමත් රැස් මාලාවක් ඇතිකර, ඔවුන් හානිකර නොවන සාන්තුවරයන් බවට පත්කිරීමට උත්සාහ දරයි; ඒ අතරම ඔවුන්ගේ විප්ලවවාදී න්‍යායන්හි සැබෑ සාරය යටපත් කරමින් හා අසභ්‍ය ලෙස සලකන විප්ලවීය මායිම බොඳ කර දමයි.” (ලෙනින්, රාජ්‍ය හා විප්ලවය).

නියත ලෙසින්ම මෙය ලෙනින් සඳහාද සත්‍ය වූ අතර, ලෙනින්ගේ අදහස්වල අයිතිය තබා ගනිමින් ස්ටාලින්වාදී ප්‍රතිගාමීත්වය තම සෑම ප්‍රති-විප්ලවවාදී ප්‍රතිපත්තියක්ම සාධාරණීකරණය කිරීම සඳහා ලෙනින්ගේ අදහස් නරුම ලෙස විකෘති කරන්නට විය. ස්ටැලින්වාදයේ ක්ෂමාලාපකයෝ කම්කරු පන්තියට එරෙහි ඔවුන්ගේ අපරාධ වසන් කිරීම සඳහා ලෙනින්ගේ විප්ලවවාදී සාරය ලැජ්ජා සහගත ලෙස විකෘති කොට, එය එහි ප්‍රතිවිරුද්ධය බවට පත් කළ අතර, එය ලෝක ධනපති පන්තියේ සතුටට හේතුවිය. ලෙනින්ගේ නමට කළු පැල්ලමක් එක් කිරීම වෙනුවෙන් ධනේශ්වර ඉතිහාසඥයන් හැමවිටම ස්ටැලින්වාදය ලෙනින්වාදය හෝ කොමියුනිස්ට්වාදය සමඟ ව්‍යාජ ලෙස සමාන කිරීමට උත්සාහ කළේය.

ලෙනින් ක්‍රියාකාරීව සිටි අවසන් කාලය ගත කළේ කොන්ග්‍රසය තුළ ස්ටාලින් ඇතුළු කන්ඩායමට එරෙහි සටන සංවිධානය කිරීම සඳහාය. ඔහු ට්‍රොට්ස්කි වෙත ලිපියක් යවමින් ජෝර්ජියානු සහෝදරවරුන්ගේ ආරක්ෂාව භාර ගන්නා ලෙස ඉල්ලා සිටි අතර ජෝර්ජියානු නායකයින්ට ඔවුන්ගේ අරමුණ වෙනුවෙන් තමන් උණුසුම් ලෙස කැපවී සිටින බව කියා සිටියේය. එහිදී ලෙනින් “මගේ මුළු හදවතින්ම” සහ “ඉතා හොඳ සහෝදර සුබ පැතුම් සහිතව” වැනි හෘදයාඟම ප්‍රකාශයන් ඇතුළත් කොට තිබූ අතර ලෙනින්ගේ ලිපිවල එවැනි යෙදුම් දැකිය හැකි වන්නේ කලාතුරකින් බව සැලකිල්ලට ගත යුතුය, එය අරගලය සඳහා ඔහු දැක්වූ කැපවීමේ ලක්ෂණයකි. ලෙනින්ගේ කන්ඩායම දේශපාලන කන්ඩායමක් බව ද පෙන්වා දිය යුතුය – පසුව ස්ටැලින්වාදීන් විසින් එය “පක්ෂ විරෝධී කන්ඩායමක්” ලෙස හැඳින්වීය. ස්ටැලින්වාදීන් ඒ වන විටත් පක්ෂ යන්ත්‍රනයේ පාලනය අතට ගෙන තිබූ කන්ඩායම විය.

ලෙනින්ගේ ලේකම් ෆොටීවා, ජෝර්ජියානු ප්‍රශ්නය පිලිබඳ ලෙනින්ගෙන් ලබාගත් අවසාන සටහන්, පැහැදිලිවම කොංග්‍රසයේ දේශනයකට සූදානම් වෙමින් සිටි බවක් පෙන්නුම් කළේය.

“ව්ලැඩිමීර් ඉලිච් උපදෙස් දුන්නේ ඔහු [ලෙනින්] තුවාල ලැබූ පාර්ශ්වයේ සිටින බවට ස්ටෝල්ට්ස්ට ඉඟියක් ලබා දෙන ලෙසය. තුවාල ලැබූ පාර්ශ්වයේ යමෙකුට හෝ වෙනත් අයෙකුට ඔහු ඔවුන්ගේ පැත්තේ සිටින බව අවබෝධ කර දිය යුතුය. අවස්ථා තුනකි: 1) එකක් සටන් නොකළ යුතුයි. 2) සම්මුතියක් ඇති කරගත යුතුයි 3) යමෙකුට විශාල රාජ්‍ය කුඩා එකක් සමඟ සන්සන්දනය කළ නොහැක. ස්ටාලින් එය දන්නේද? ඔහුගෙන් ප්‍රතිචාරයක් නැත්තේ ඇයි? ස්වෝත්තමවාදය හා මෙන්ෂෙවිස්වාදය දෙසට අපගමනය වීම වෙනුවෙන් ‘අපගමනවාදීන්’ යන නම සහ මෙන්ෂේවික්වාදය ජාතික ස්වෝත්තමවාදීන් සමග සමාන අපගමනයක් පෙන්නුම් කරයි. ව්ලැඩිමීර් ඉලිච් වෙනුවෙන් තෝරාගත් මුද්‍රිත ද්‍රව්‍ය.”

මාර්තු 9 වන දින ලෙනින් සිය තෙවැනි ආඝාතයට ගොදුරු වූ අතර එමඟින් ඔහු අංශභාග වී අසරණ විය. නිලධාරිවාදී පරිහානියට එරෙහි අරගලය ට්‍රොට්ස්කි සහ වාම විපක්ෂය වෙත පැවරුණි. එහෙත් ලෙනින් සමාජවාදී ජාත්‍යන්තරවාදය සහ කම්කරු ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නිලධාරිවාදයට එරෙහිව, කුලෑක් උවදුරට එරෙහිව, කාර්මිකකරණය සහ සමාජවාදී සැලසුම් කිරීම සඳහා විපක්ෂ වැඩපිළිවෙලෙහි අඩිතාලම දැමීය.

ලෙනින්ගේ මරණයත් සමඟ මාක්ස්වාදයේ ආරක්ෂාව සහ අඛණ්ඩතාව ස්ටැලින්වාදී අනුගාමිකයන්ට එරෙහි සටන ලියොන් ට්‍රොට්ස්කිගේ උරහිස් මත වැටුණි. මානව වර්ගයාගේ නව යුගයක් සඳහා වන අවසාන ජයග්‍රහණය කරා ගෙන යාමේ මෙම සටන ආරම්භ කිරීම ලෙනින්ගේ ජයග්‍රහණය වූ නමුත් ඔහුට සම්පූර්ණ කිරීමට ජීවත් විය නොහැකි විය. ලෝක අර්බුදය හා අස්ථාවරත්වය ගැඹුරු කිරීමේ කොන්දේසි මධ්‍යයේ, එම සටන අඛණ්ඩව ඉදිරියට ගෙනයාමේ වගකීම වර්තමාන මාක්ස්වාදී පරම්පරාවන්ට පැවරී ඇත.

Related posts