නිදහසද? ආර්ථික වහල්භාවය දිගටම පවත්වා ගැනීමද?

රාජු ප්‍ර‍භාත් ලංකාලෝක විසිනි

සෑම වසරකම පෙබරවාරි 4 වන දින ශ්‍රී ලංකාව සිය “නිදහස් දිනය” සමරයි. මෙම දිනය සනිටුහන් කරන්නේ සිලෝන් ලෙසින් හැඳින්වුන ලංකාවට ඩොමීනියන් තත්ත්වයේ නිදහසක් ලැබීමයි. බ්‍රිතාන්‍ය පොදුරාජ්‍ය මණ්ඩලය තුළ වසර 24ක් පුරා ලංකාව එම ඩොමීනියන් තත්ත්වයෙන් පසුවූ අතර, 1972 මැයි 22 වන දින එය ජනරජයක් බවට පත් වූ අතර ඒ සමඟ රටේ නම ශ්‍රී ලංකා ජනරජය ලෙසට වෙනස් කරන ලදී.
මේ වනවිට අපට නිදහසක් ලැබුණේද? ලැබුණේනම් ඒ කුමන නිදහසක්ද? ජනතාව කුමන ආකාරයේ නිදහසක් භුක්ති විඳින්නේද? යන කරුණු මේ වනවිට ජනතාව අතර සාකච්ඡා වෙමින් පවතී. ඒ සමඟම වත්මන් පාලකයන් විසින් රටේ දරුවන්ගේ මන්දපෝෂණය ඉහළ යද්දී, දරුවන්ගේ අධ්‍යාපනය බිඳවැටීමේ තත්ත්වයන් ඉහළ යද්දී, රෝහල් තුළ රෝගීන්ට ඖෂධ නොමැතිව සිටියදී, නිදහස සැමරීමේ උත්සව වෙනුවෙන් කෝටි 200කට අධික මුදලක් වැයකරන්නේ මක්නිසාද යන්නද බරපතලව සාකච්ඡා වෙමින් පවතී. මේ වනවිටත් රටේ ඇතැම් ක්‍රියාකාරීන් “නිදහස් උත්සවයට” සමගාමීව විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කර ඇත. අපි එයට අපගේ පූර්ණ සහාය පළ කරමු.
පාලක පන්තිය විසින් ‘නිදහස් දින සැමරුම්’ පවත්වන්නේ පාලකයන් ලෙස ඔවුන්ගේ පැවැත්ම සාධාරණීකරණය කිරීම වෙනුවෙන් ගන්නා දුර්වල උත්සාහයක් ලෙසය. අද දින ප්‍රධාන ධාරාවේ මාධ්‍ය චිත්‍රණය කරන්නේ 1919 දෙසැම්බර් 11 දින රටේ ධනපතියන් සහ ප්‍රභූන් විසින් පිහිටුවා ගන්නා ලද ලංකා ජාතික කොන්ග්‍රසය ශ්‍රී ලංකාවේ නිදහස දිනා ගැනීම සඳහා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළ බවයි. කෙසේ වෙතත්, සත්‍යය තත්ත්වය ඊට වඩා බෙහෙවින් වෙනස්ය.

1919 දෙසැම්බරයේදී ලංකා ජාතික කොන්ග්‍රසය පහත සඳහන් යෝජනා සම්මත කළේය:

“කොන්ග්‍රසය ප්‍රකාශ කරන්නේ දිවයිනට වඩාත් හොඳ ආණ්ඩුවක් සහ ජනතාවගේ සතුට හා තෘප්තිය වෙනුවෙනුත්, ලංකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ කොටසක් ලෙසින්, වගකිව යුතු ආණ්ඩුවක් සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් වන පියවරක් වශයෙනුත්, ලංකාවේ ව්‍යවස්ථාව සහ පරිපාලනය පහත සඳහන් ආකාරයට වහාම ප්‍රතිසංස්කරණය කළ යුතුය:
“ව්‍යවස්ථාදායක සභාව සාමාජිකයින් 50 දෙනෙකුගෙන් පමණ සමන්විත විය යුතු අතර, ඔවුන්ගෙන් අවම වශයෙන් පහෙන් හතරක්වත් පිරිමින්ට පුළුල් ඡන්ද බලයයකුත් කාන්තාවන්ට සීමිත ඡන්ද බලයකුත් මත භෞමික ඡන්ද කොට්ඨාශ පදනම මත තෝරා පත් කර ගැනීමෙන් සහ ඉතිරි පහෙන් එක වැදගත් සුළු ජාතීන් නියෝජනය කිරීම සඳහා නිල සාමාජිකයන් සහ නිල නොවන සාමාජිකයන් ලෙස පත් කර ගැනීමෙන් පිරවිය යුතුය. සභාව තමන්ගේම කතානායකයකු තෝරා පත් කර ගත යුතුය.”
මෙම ප්‍රකාශ ප්‍රධාන කරුණු දෙකක් ඉස්මතු කරලයි. එකක්, ලංකාවේ ජාතික කොන්ග්‍රසය යටත් විජිත පාලකයන්ගෙන් නිදහස ලබා ගැනීම සඳහා සටන් කළේ නැති බවය. ඔවුන් ඉල්ලා සිටියේ ලංකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ ඒකාබද්ධ අංගයක් ලෙස පවත්වා ගැනීමයි. දෙවනුව, ඔවුන් සර්වජන ඡන්ද අයිතිය වෙනුවෙන් පෙනී සිටියේ නැත. මෙයින් පැහැදිලිවම පෙනී යන්නේ පොන්නම්බලම් අරුනාචලම්, එෆ්.ආර්. සේනානායක, ඩී.එස්. සේනානායක, ඩී. බී. ජයතිලක වැනි නිදහසේ ඊනියා නායකයන් යයි කියන අයට යටත් විජිත පාලනයෙන් නිදහස් වීම වෙනුවෙන් සටන් කිරීමට කිසිදු අදහසක් නොතිබුණ බවයි.
කෙසේ වෙතත්, 1912 දී සිදු වූ දුම්රිය වැඩ වර්ජනයත් සමඟ ශ්‍රී ලංකාවේ කම්කරු පන්තිය තම ශක්තිය පෙන්වමින් නැඟී සිටීමට විය. 1922 දී ලංකාවේ කම්කරු සංගමය පිහිටුවීමත් සමඟ ඒ. ඊ. ගුණසිංහගේ නායකත්වයෙන්, 1923 දී කම්කරුවන්ට ඔවුන්ගේ පළමු මහා වැඩ වර්ජනය දියත් කිරීමට හැකි වූ අතර 1927 දී වරායේ ජයග්‍රහණය සහ 1929 දී ට්‍රෑම් රථ වැඩ වර්ජනයද ඉන් පසුව පැන නැඟුණි. ඩොනමෝර් කොමිසම හමුවේ සර්වජන ඡන්දය ඉල්ලා සිටි එකම තැනැත්තා වූයේ ඒ. ඊ. ගුණසිංහය. පසුව, 1935 දී ලංකා සමසමාජ පක්ෂය පිහිටුවීමත් සමඟ, ලෙස්ලි ගුනවර්ධණ, එන්.එම්. පෙරෙරා, කොල්වින් ආර්. ද සිල්වා, පිලිප් ගුනවර්ධණ ඇතුළු තරුණ මාක්ස්වාදීන් විසින් කම්කරු පන්තිය සංවිධානය කරමින් යටත් විජිතවාදයට එරෙහි සටන පෙරට ගෙන ගියහ.
1950 න් පසු ඇතිවූ ආර්ථික නැගීම තුළ ඇතිවූ පිරිහීම තිබියදී, ලංකාවේ යටත් විජිත පාලකයන්ට එරෙහිව සටන් කළ එකම සංවිධානය වූයේ සමසමාජයේ නායකත්වය යටතේ පැවති කම්කරු පන්ති ව්‍යාපාරයයි.
යටත් විජිත පාලකයන් ඉවත් වීම ගෝලීය සන්දර්භය තුළද සලකා බැලිය යුතුය. ධනවාදයේ අර්බුද නිසා පැන නැඟි ලෝක යුද්ධ සහ නැගෙනහිර යුරෝපය තුළ ස්ටැලින්වාදය ශක්තිමත් වීම එහිලා ප්‍රධාන කාර්‍ය භාරයක් ඉටු කළේය.
දෙවන ලෝක යුද්ධය දක්වාම අධිරාජ්‍යවාදීන් විසින් සෙසු ලෝකය කොටස් වලට බෙදාගෙන සිටියේය. එවකට ලෝකයේ නිදහස් වෙළඳාමක් නොවීය. යටත් විජිතයේ හිමිකම පැවති අධිරාජ්‍යවාදී බලවතාට වෙළඳාමේ ප්‍රමුඛතාවක් හිමිවිය. ජර්මනිය, අමෙරිකාව වැනි පසුව ආර්ථික බලවතුන් බවට පත්වූ රටවලට මේ නිසා බරපතල අවාසියක් සිදුවිය. ලෝක යුද්ධ දෙකටම මුල් වූයේ පසුව ආර්ථික වශයෙන් ඉදිරියට පැමිණි ජර්මනියට නැවත ලෝකය බෙදා ගැනීමට තිබූ වුවමනාවයි.
දෙවන ලෝක සංග්‍රාමයේදී බ්‍රිතාන්‍යය ඇතුළු යටත් විජිත හිමි බලවතුන් දරුණු ප්‍රහාරයකට ලක් විය. 1941 වන විට ප්‍රංශය මුළුමනින්ම ජර්මනියට යටත්ව තිබුණි. යටත් විජිත හිමි බලවතුන්ගේ ආර්ථිකයන්ට දැඩි ලෙස හානි සිදුවී හෝ සම්පූර්ණයෙන්ම සුනුවිසුනු වී ගොස් හෝ තිබුණි. කෙසේ වෙතත්, එක්සත් ජනපදය යුද්ධයෙන් සීරීමක්වත් ලබා නොසිටි අතර, යුද්ධය තුළ ඔවුන් වඩාත් ඉහළට නැඟ තිබුණි. ලෝකයේ රත්තරන් වලින් තුනෙන් දෙකක් නොක්ස් කොටුවේ පැවතුණි. එබැවින් එක්සත් ජනපදයට බටහිර ලෝකයේ සෙසු රටවලට කොන්දේසි පැනවීමට හැකි විය.
1941 අගෝස්තු මාසයේදී ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති රූස්වෙල්ට් සහ එක්සත් රාජධානියේ අගමැති වින්ස්ටන් චර්චිල් විසින් අත්සන් කරන ලද අත්ලාන්තික් ප්‍රඥප්තියේදී ඇමරිකා එක්සත් ජනපදයෙන් ක්‍රියාකාරී මිලිටරි සහාය ලබා ගැනීමේ අරමුණින්, යුද්ධයෙන් පසු එක්සත් රාජධානිය ඔවුන්ගේ යටත් විජිත අත්හැරීමට එකඟ විය. 1941 දෙසැම්බරයේදී ඇමරිකා එක්සත් ජනපදය ක්‍රියාකාරීව යුද්ධයට සම්බන්ධ විය.
දෙවන ලෝක යුද්ධයෙන් පසුව අත්සන් කරන ලද බ්‍රිට්න්-වුඩ්ස් ගිවිසුම වීසින් ඩොලරය ලෝක‍යේ සම්මත මුදල් ඒකකය ලෙස පිළිගැනීමත් සහ නිර්බාධිත වෙළඳපොල පිළිබඳ සංකල්පය තහවුරු කිරීමත් නිසා, ඇමරිකා එක්සත් ජනපදයට ලෝකයේ සුපිරි බලවතකු ලෙස ඉස්මතු වීමට තවදුරටත් පහසුකම් සැළසීය. විප්ලවයට ඇති බියත්, “කොමියුනිස්ට්වාදයෙන්” යුරෝපීය ධනපතියන් බේරා ගැනීමත් වෙනුවෙන් තීරණාත්මකව මැදිහත් වීමට වොෂිංටනයට බල කෙරුනි. බටහිර යුරෝපය යථා තත්ත්වයට පත් කිරීම සඳහා මාෂල් සැලැස්ම සහ අනෙකුත් ආර්ථික ආධාර ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළේය. මෙය එක්සත් ජනපදයේ විශාල නිශ්පාදන ධාරිතාවන් සඳහා නව වෙළඳපලවල් සැපයීය. විශේෂයෙන් ප්‍රාග්ධන භාණ්ඩ හා ඉංජිනේරුමය භාණ්ඩ සඳහා ඉහළ යමින් තිබූ වෙළඳාම විසින් ධනේශ්වර රටවල් අතර ආර්ථික ආයෝජන ඉහළ දැමීය.
මෙම ගිවිසුම මගින් එක්සත් ජනපද අධිරාජ්‍යවාදයට තම යුරෝපීය ප්‍රතිවාදීන් පැත්තකට තල්ලු කරමින් ආසියාවේ, අප්‍රිකාවේ සහ මැදපෙරදිග නව වෙළඳපලවලට ඇතුළු වීමට නව ශක්තියක් ලබා දුනි.
යටත් විජිත විප්ලව, විශේෂයෙන් යටත් විජිත පාලකයන්ට එරෙහිව ඉන්දියානු කම්කරු පන්තිය නැඟී සිටීම යටත් විජිත පාලකයින්ට අල්ලා ගත් ප්‍රදේශවලින් පසුබැසීමට බල කෙරුනි.
යටත් විජිතවල ජනයාගේ නැගිටීම් සමඟ, පෙර යටත් විජිත පලකයන්ගේ ආර්ථිකයන්ට දැඩි ලෙස හානි සිදුව තිබීම, ඇමරිකා එක්සත් ජනපදය ලෝකයේ සුපිරි බලය ලෙස ඉස්මතු වීම සහ පෙර තෝරාගත් පාර්ශවවලට වාසිදායක ලෙසට කලින් පැවති වෙළදාම අහෝසි කිරීමට ඇමරිකාවට තිබූ වුවමනාව යනාදිය යටත් විජිත පාලකයන්ට ඔවුන්ගේ යටත් විජිතවල ජනතාවට ඔවුන්ගේම ආණ්ඩු පිහිටුවා ගැනීම වෙනුවෙන් ඉඩ දීමට දායක විය.
අධිරාජ්‍යවාදී පාලකයින් තම යටත් විජිතවලට ජනතාව පත්කරගන්නා ආණ්ඩු ඇති කර ගැනීමට ඉඩ දුන්නද, ඔවුන් එම රටවල ආර්ථිකයේ පාලනය වක්‍රාකාරයෙන් තමන් යටතේම පවත්වා ගත්හ. අධිරාජ්‍යවාදී බලවතුන් විසින් සැකසූ ආර්ථික, මූල්‍ය හා වෙළඳ යාන්ත්‍රණ හඳුන්වා දී ඇත්තේ ඒ වෙනුවෙනි, අධිරාජ්‍යවාදී බලවතුන්ට (රටවල් සහ සමාගම් ) සෘජු පාලනය ගෙනයාම මඟින් නොව ජාත්‍යන්තර ධනවාදයේ මෙහෙයුම් තුළින් කලින් යටත්ව සිටි ජාතීන්ගේ ආධිපත්‍යය දැරීමට හැකි විය. IMF, ලෝක බැංකුව, ලෝක වෙළඳ සංවිධානය මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය යනුදද එම යාන්ත්‍රණයන් ක්‍රියාත්මක කරන ආයතන හැර වෙන කිසිවක් නොවේ. ඒ මඟින් සෑම විටම ඌන සංවර්ධිත රටවල ධනය (කලින් යටත් විජිත) අධිරාජ්‍යවාදී රටවලට සහ ඒවායේ සමාගම්වලට ගලා යාමට සළස්වයි.
ශ්‍රී ලංකාව මුහුණ දී ඇති අර්බුදය තුළදී එලෙස ශ්‍රී ලංකාවේ ධනය ගලා ගිය ආකාරය මේ වනවිට අනාවරණය වී ඇත.
බහුජාතික සමාගම් සහ අධිරාජ්‍යවාදී බලවතුන් විසින් කරන ආර්ථික හා මූල්‍ය කොල්ලකෑම නැවැත්වීමෙන් පමණක් සැබෑ නිදහස ලබා ගත හැකිය. පවතින ධනවාදී ක්‍රමය විප්ලවීය ආකාරයකට පෙරළා දමා, පෞද්ගලික දේපළ අහෝසි කොට සහ සැබෑ කම්කරු ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම අපට එය සාක්ෂාත් කර ගැනීමට හැකි එකම ක්‍රමයයි.

Related posts