ජර්මනිය තුළ පැසිස්ට්වාදීන් බලයට පැමිණීම!

රාජු ප්‍ර‍භාත් ලංකාලෝක විසිනි

මෙයට වසර 90 කට කලින්, 1933 ජනවාරි 30 දින, හිට්ලර් ජර්මනියේ චාන්සලර් ලෙසින් දිවුරුම් දෙනු ලැබීය. හිට්ලර් බලයට පැමිණියේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන බටහිර ධනපති නායකයන්ගේ ආශිර්වාදය මැදය. ඒ එවකට ජර්මනියේ ධනපති ක්‍රමය විප්ලවීය ලෙස පලවාහැරීමට කම්කරුවන් සූදානම්ව සිටි අවස්ථාවක ෆැසිස්ට් ආකාරයට හෝ කම්කරු පන්තිය මර්ධනය කිරීමට ඔවුන්ට තිබූ උවමනාව නිසාය. ජර්මනියේ කොමියුනිස්ට් පක්ෂයේ හා ස්ටාලින්ගේ නායකත්වය යටතේ පැවති කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ වැරදි නායකත්වය හා වැරදි ක්‍රියාමාර්ගද ජර්මනිය තුළ හිට්ලර් බලයට ගෙන ඒම වෙනුවෙන් අති මහත් කාර්යභාරයක් ඉටු කරන ලදී. මේ නිසා ජර්මනිය තුළ ෆැසිස්ට්වාදීන් බලයට පැමිණීම කම්කරු පන්තික ක්‍රියාධරයන් ලෙසට අප විසින් අධ්‍යයනය කළ යුතුම සිදු වීමකි. ජාත්‍යන්තර මාක්ස්වාදී ප්‍රවණතාවේ රොබ් සීවල් සහෝදරයා විසින් ලියන ලද මෙම ලිපිය අප පළ කරනුයේ ඒ වෙනුවෙනි.
………………………………………………………………………………………………………………………………………………..
1929 දක්වා ෆැසිස්ට් කණ්ඩායම්වලට රට තුළ සැබෑ පදනමක් නොතිබුණි. යුද්ධයෙන් පසු බලාපොරොත්තු සුන් වූ හමුදා නිලධාරීන් සහ වෙනත් ප්‍රතිගාමී කොටස් විසින් කුඩා කන්ඩායම් සහ කුඩා මිලිටරි ලීග රාශියක් ස්ථාපිත කර තිබුණි. හිට්ලර්ගේ ෆැසිස්ට් සංවිධානය ඒවා අතරින් එකක් පමණක් විය.
හිට්ලර්ගේ කණ්ඩායම 1919දී පිහිටුවන ලද අතර ඊළඟ වසරේදී එහි නම ජාතික සමාජවාදී ජර්මානු කම්කරු පක්ෂය යනුවෙන් වෙනස් කෙරිණි. නාසි යන නම කෙටි යෙදුම පැමිණියේ එමඟිනි. එහි අවිනිශ්චිත, මුල් පැවැත්ම තුළ එය ජර්මන් හමුදාවේ සිටි අතෘප්තිමත් ප්‍රතිගාමී කොටස් ආකර්ෂණය කර ගැනීමට උත්සාහ කළේය. එහෙත් අසතුටුදායක, නොගැලපෙන, ප්‍රතිගාමීන් සුළු සංඛ්‍යාවක් ආකර්ෂණය කර ගැනීම හැරුණු විට, එහි බලපෑම අතිශයින් සීමිත විය. තත්ත්වයට බලපෑම් කිරීමේ හැකියාවක් තිබුණිනම්, ඒ වෙනත් ෆැසිස්ට් කණ්ඩායම් සමඟ එකතු වීමෙන් පමණි.

මියුනිච් ප්‍රහාරය

1923දී හිට්ලර් රිපබ්ලිකන් විරෝධී ජාතිකවාදී කණ්ඩායම් ගණනාවක් සමඟත් බැවේරියාවේ සන්නද්ධ කණ්ඩායම් සමඟත් එක්සත්ව Deutscher Kampfbund (ජර්මානු සටන් සංවිධානය) පිහිටුවා ගන්නා ලදී. ඔවුන් මුසෝලිනිගේ ජයග්‍රහණයෙන් ආශ්වාදයක් ලැබ සිටි අතර ඔහු රෝමයේ කළ පාගමන අනුකරණය කිරීමට සිහින මැවූහ. 1923 නොවැම්බර් 8 වන දින, හමුදා ප්‍රධානීන්ගේ සහායකින් තොරව, හිට්ලර්, රොඒම් සහ ලුඩෙන්ඩෝෆ් විසින් අසාර්ථක ප්‍රහාරයක් දියත් කරන ලදී. ෆැසිස්ට්වාදීන් පහසුවෙන් විසුරුවා හරින ලද අතර හිට්ලර් අත්අඩංගුවට ගන්නා ලදී. මෙම කලබැගෑනිය නාසීන්ට දැවැන්ත පහරක් විය.

සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් මහ මැතිවරනයේදී සිය ඡන්ද ප්‍රමාණය සියයට 30කින් (මිලියන අටකට ආසන්න ප්‍රමාණයකින්) දැවැන්ත ලෙස වැඩිකර ගැනීමේ තීරණාත්මක සිදුවීමත් සමඟ නියමිත කාලයට කලින් හිට්ලර් ලෑන්ඩ්ෂර්ග් සිරගෙදරින් නිදහස් කෙරිණ. නාසි පක්ෂය ෆැසිස්ට් කන්ඩායම් ගනනාවක් සමග එක්ව ඇතිකළ ජාතිකවාදී සමාජවාදී ජර්මානු නිදහස් ව්‍යාපාරයේ ඡන්ද පදනම, 1924 මැයි මාසයේදී මිලියන දෙකේ සිට දෙසැම්බර් මාසය වනවිට මිලියනයකටත් වඩා අඩු අගයක් දක්වා කඩා වැටී තිබුණි.
නාසිවාදය පැවතියේ ගැඹුරු පසු බැසීමකය. එම වකවානුව ජර්මානු ධනේශ්වරයට ෆැසිස්ට්වාදීන්ට උදව් කිරීමට කාලය නොවූවත්, ඔවුන්ව පවත්වා ගැනීමට ප්‍රමාණවත් තරම් අරමුදල් සැපයූහ. 1928 මැයි මහ මැතිවරණය වන විට නාසීන්ට තිබූ සහාය මුළු ඡන්ද ප්‍රමාණයෙන් සියයට 2.6 දක්වා අඩු වී තිබුණි.

විශාල ව්‍යාපාර හිට්ලර් දෙසට හැරීම

1930 වන විට තත්වය විශාල ලෙස වෙනස් වෙමින් තිබුණි. එහි ප්‍රතිඵලයක් ලෙසට ජර්මානු ධනේශ්වරය ෆැසිස්ට් ව්‍යාපාරයට සිය සම්පූර්ණ බර යෙදවීමට තීරණය කළේය. මහා ව්‍යාපාර නාසි පක්ෂයට මාර්ක් මිලියන ගණනින් ලබා දුන්නේය. වානේ සංගතයේ ප්‍රධානී ෆ්‍රිට්ස් තයිසන්, “මම හිට්ලර්ට ගෙවීමි” නම් ග්‍රන්ථයේ, හිට්ලර්ට මාර්ක් මිලියනයක් පෞද්ගලිකව භාර දුන් බව විවෘතව පිළිගත්තේය. ධනේශ්වරයේ කොටස් නාසීන් වෙත දිනා දීමටද ඔහු දායක විය. ඉතිහාසඥ විලියම් ෂිරර්ට අනුව, ‘ඇත්ත වශයෙන්ම 1930-33 අතර කාල සීමාව තුළ හිට්ලර්ට බලයට පත් වීමට පැවති අවසන් බාධක ජය ගැනීමට ඉවහල් වූ කර්මාන්තකරුවන්ගෙන් ලැබුණු අරමුදල්වල ප්‍රධාන ප්‍රභවයන් වූයේ ගල් අඟුරු සහ වානේ ක්ෂෙත්‍රවල වුවමනාවන්ය .’

මේ දක්වා නාසි පක්ෂය කම්කරු ව්‍යාපාරයට හෝ ජනරජයට තර්ජනයක් ලෙස පෙනුනේ නැත. වසර දෙකක් තුළ එය රයික්ස්ටැග්හි (ජර්මන් ව්‍යවස්ථාදායකය) දුර්වලම පක්ෂයේ සිට දෙවන විශාලතම පක්ෂය බවට වර්ධනය විය.
පාලක පන්තිය එහි වුවමනාවන් ආරක්ෂා කර ගැනීම පිණිස මර්දනකාරී, කුරිරු ක්‍රියාමාර්ග කරා ගමන් කිරීම අලුත් දෙයක් නොවේ. ඔවුන්ගේ බලය සහ ආදායම ආරක්ෂා කිරීම වෙනුවෙන් ඕනෑම නරුම ක්‍රියාවන් සඳහා ඔවුන් සූදානම්ය. එහෙත් ෆැසිස්ට්වාදය දෙසට හැරීම ධනේශ්වරයේ ආකල්පයේ තීරණාත්මක අවධියක්, ගුණාත්මක වෙනසක් සනිටුහන් කළේය. ෆැසිස්ට්වාදය යනු ධනවාදයේ මරණ වේදනාව හා බැඳුණු විශේෂ ප්‍රතික්‍රියාවකි. ට්‍රොට්ස්කි වරක් කියා සිටියේ එය ‘අධිරාජ්‍යවාදයේ පෙරාගත් සාරය’ බවයි.

‘සාමාන්‍ය’ තත්වයන් යටතේ ධනවාදය සඳහා වුවමනා වන ආණ්ඩුවේ හොඳම ස්වරූපය එහි ලාභම ස්වරූපය වන ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදයයි. ධනපති ක්‍රමය සන්නද්ධ හමුදා දකින්නේ පෞද්ගලික දේපළ හා ඒවායින් පැන නඟින දේවල් ආරක්ෂා කිරීම සඳහා අවශ්‍යකරන දුෂ්ඨකම් වෙනුවෙන් කළයුතු වියදමක් ලෙසය. පාර්ලිමේන්තු ආණ්ඩුවක පාලනය යටතේ තබා නොගතහොත්, රාජ්‍ය නිලධරයට සහ මිලිටරි කුලයට අසමාන ලෙසින් වර්ධනය වීමට ඉඩක් ලැබෙන අතර ඔවුන් අතිරික්ත වටිනාකමෙන් විශාල ප්‍රමාණයක් පරිභෝජනය කිරීම දක්වා ගමන් කළ හැකිය. ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදයද ජනතාවගේ අතෘප්තිය සඳහා වටිනා ආරක්ෂක වෑල්වයක් සපයයි. මාක්ස් කියූ දෙයම වෙනත් ලෙසකින් කිවහොත්, ඒකාධිකාරයන් තීරණය කරන තාක් කල් ජනතාවට තමන් කැමති දේ පැවසිය හැකිය. කෙසේ වෙතත්, ධනවාදය අර්බුදයට ගමන් කරන විට, යැපීමේ මට්ටමටත් වඩා අඩු මට්ටමකට වැටුප් අඩු කිරීමටත්, සේවකයා අර්ධ වහල් පැවැත්මකට පත් කිරීමටත් ධනේශ්වරයට බල කරයි. නිර්ධන පංතිය විසින් දිනා ගන්නා ලද ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් – කතා කිරීමේ නිදහස, සංවිධානය වීමේ අයිතිය, වැඩ වර්ජනය කිරීමට, ඡන්දය දීමට ඇති අයිතිය – මෙම තත්වයන් පහත හෙලීමට දරන උත්සාහයේදී ධනේශ්වර පන්තියේ බාධක බවට පත්වේ. ධනපතියන් වැඩි රාජ්‍ය මර්දනයකට යොමු වන අතර බොනපාට්වාදී තන්ත්‍රයන් (මිලිටරි-පොලිස් ආඥාදායකත්වයන්) ස්ථාපිත කරයි. එහෙත් කම්කරු පන්තියේ සංවිධාන මුළුමනින්ම විනාශ කිරීමට බොනපාට්වාදය පවා ප්‍රමාණවත් නොවන අතර, එම නිසා මෙම කාර්යය ඉටු කිරීම සඳහා විශේෂ ප්‍රතික්‍රියාවක් ලෙසින් ෆැසිස්ට්වාදය අවශ්‍ය වේ.

ජර්මනියේ නිර්ධන පංතිය 1918 විප්ලවය අතරතුර ධනේශ්වරයෙන් විශාල සහන ලබා ගෙන තිබුණි. නැගෙනහිර ජර්මනියේ ගොවිපල කම්කරුවන් පළමු වරට සංවිධානය වීමේ අයිතිය දිනා ගත්හ. එහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රධාන කර්මාන්තකරු ස්ටින්ස් අනතුරු ඇඟවූයේ ‘මහා ව්‍යාපාර සහ කර්මාන්තය පාලනය කරන සියලු දෙනා යම් දවසක ඔවුන්ගේ බලපෑම හා බලය නැවත ලබා ගනු ඇත!’ යනුවෙනි. සහන ලබාදීම ගිල ගනිමින් කාලය ගෙවා දැමීමට ඔවුන්ට සිදුවිය. දැන් ඔවුන් ජර්මානු නිර්ධන පංතියේ ඇටකටු මතින් ඔවුන්ගේ ලාභය යථා තත්වයට පත් කර ගැනීම වෙනුවෙන් ෆැසිස්ට්වාදය දෙස බැලීය.

මධ්‍යම පංතියේ චලනය

වෙනත් ආකාරයේ ප්‍රතික්‍රියා මෙන් නොව, ෆැසිස්ට්වාදය යනු ගරා වැටීමට ලක් වූ මධ්‍යම පංතිය බහුජන ව්‍යාපාරයක් ලෙස සංවිධානය කරමින් කම්කරු ව්‍යාපාරයට එරෙහිව මිනිසුන් ලවා එල්ල කරන යකුළු ප්‍රහාරයකි. ධනවාදයේ අර්බුදය විසින් සුලු ධනේශ්වරය මුළුමනින්ම තලා දමා ඔවුන්ව උමතුවකට තල්ලු කරයි. ජර්මනියේ විරැකියාව 1931 දී මිලියන හතරක්ද, 1932 දී මිලියන පහක්ද, ඊළඟ වසරේදී මිලියන හයකට වඩා වැඩියෙන්ද ඉහළ ගියේය. ඊට කලින් උද්ධමනය විසින් මුළු මධ්‍යම පංතික ස්ථරයම දිළින්දන් බවට පත් කර තිබුණි. මෙම වසර තුළ සියදිවි නසා ගැනීමේ අනුපාතය පුදුමාකාර ලෙස ඉහළ ගියේය. බොහෝ වෘත්තිකයන් පුහුණු ශ්‍රමිකයින්ගේ මට්ටමට වඩා පහත වැටුණි. මහාචාර්යවරයෙකුට සාමාන්‍ය සේවකයෙකුට වඩා අඩු මුදලක් ගෙවන ලදී. රැකියා සොයමින් ඒ මේ අත යමින් සිටි සංඛ්‍යාව සුළුපටු නොවීය. 1923 න් පසු ජර්මානුවන්ගෙන් සියයට 97ක් කිසිදු ප්‍රාග්ධනයක් නොමැතිව සිටි අතර එහි ප්‍රතිඵලය වූයේ දැවැන්ත ලෙස ධනය රාශිභූත වීමයි.

උත්පාත වර්ෂවලදී ව්‍යාපාර කාර්‍යක්ෂම කිරීමට යයි කියමින් කුඩා කර්මාන්ත හා ව්‍යාපාර ඉක්මනින් ගිල දමමින් විශාල ප්‍රාග්ධනයන් ඇති කළේය. 1929 න් පසු අර්බුදය තුළ, අවම වශයෙන් සංවිධානාත්මක කම්කරුවන්ට වෘත්තීය සමිති කොන්ත්‍රාත්තු මත විරැකියා දීමනා වැනි සීමිත ආරක්ෂණයන්ගේ පිහිට පැතිය හැකි විය. නමුත් ජර්මනියේ – බංකොලොත් සාප්පු හිමියන්, රැකියා විරහිත වෘත්තිකයන්, පහළ වැටුණු ස්ථාවර ආදායම් බලැබූ අය වැනි – සුලු ධනේශ්වරය සිටියේ දැඩි බලාපොරොත්තු සුන්වීමකය. ඔවුන්ට සියල්ල අහිමි වී බොහෝ දෙනෙක් පාරට ඇද වැටී තිබුණි. කලින් මධ්‍යම පංතියේ කොටස් කම්කරු පන්තිය කරා ඇද වැටුණු නමුත් මේ වනවිට පැවති විශාල විරැකියාවත් සමඟ ඔවුන් අන්ත දිළින්දන් බවට පත් විය. ට්‍රොට්ස්කි පැහැදිලි කළ පරිදි, ‘සුළු ධනේශ්වරයේ බලාපොරොත්තු සුන්වීම, සුලු ධනේශ්වරයේ මහා ස්නායු රෝගය වන වෙනසක් සඳහා ඇති ආශාව, ප්‍රාතිහාර්යයන් විශ්වාස කිරීමට එහි ඇති සූදානම, ප්‍රචණ්ඩකාරී පියවර සඳහා එහි ඇති සූදානම නිසා එයට තිබූ බලාපොරොත්තු රැවටීමක් බවට පත්කළ නිර්ධන පංතිය කෙරෙහි එයට පැවති සතුරුකම වර්ධනය වන්නට විය.’

ෆැසිස්ට්වාදීන් විසින් විනාශ වූ ගොවීන්, රැකියා විරහිත තරුණයින්, ඒකාධිකාරයන් විසින් තලා දැමූ විනාශ කරන ලද කුඩා ව්‍යාපාරිකයින් සහ – ජාවාරම්කරුවන්, ගණිකාවන්, මැරයන් සහ අපරාධකරුවන් වැනි – පාදඩ නිර්ධන පන්තිය. පෝෂණය කරන්නට විය. ධනවාදී විරෝධී වාචාල කතා තුළින් ඔවුන් මෙම බලාපොරොත්තු සුන් වූ ජනතාව එකට බැඳ ගත් අතර එය ඔවුන් ගලවා ගැනීමේ මෙහෙවරක් ලෙසත්, ක්‍රමය පෙරළා දැමීමේ මිත්‍යාවන් පුරවාගත් එකක් ලෙසත් ඉදිරිපත් විය. මධ්‍යම පංතියයේ ඇති අතරමැදි සමාජ තත්ත්වය සහ විෂමජාතීය සැකැස්ම හේතුවෙන් එයට ස්වාධීන දේශපාලන කාර්යභාරයක් ඉටු කිරීමට නොහැකිය. ධනේශ්වරයට හෝ නිර්ධන පංතියට සහාය වීමට එයට බල කෙරෙයි. යුද්ධය නිමා වූ ආසන්නයේ ඔවුන්ගෙන් වැඩි දෙනෙක් ඉදිරි මාර්ගයක් ලෙස කම්කරු සංවිධාන දෙස බැලූහ. තත්වය පරිවර්තනය කිරීමට කම්කරු පක්ෂ අපොහොසත් වීම විසින් ඔවුන් නැවත ධනේශ්වරය දෙසට තල්ලු කරනු ලැබීය.
එහෙත් ධනවාදී දේශපාලනඥයින් විසින් තම සමාජ තත්ත්වයන් පවත්වා ගැනීමට කරන ක්‍රියාවන් නිසා සුලු ධනේශ්වරය වියවුලටත් කළකිරීමටත් පත් වේ. එබැවින් පාලක පන්තියට මධ්‍යම පංතිය රවටා ගැනීම සඳහා නව ආයුධයක් සැකසිය යුතුය. ඔවුන් විසින් ෆැසිස්ට්වාදීන්ට මුදල් ලබා දෙමින්, ඒවා ගොඩනඟමින් සුලු ධනේශ්වරයේ ගැටලු සහ අතෘප්තිය ගසාකෑමට එය භාවිතා කරන්නට විය.

ෆැසිස්ට් සංවිධානය ආරම්භ වන්නේම කම්කරු විරෝධී කල්ලි, කම්කරු සංවිධානවලට හිරිහැර කරන සංවිධාන සහ සමාජයේ ගොඩගැසී ඇති කුණු කන්දල් හරහා කුලී මැරයන් ආකර්ෂණය කර ගනිමිනි. හිට්ලර්ගේ SA සහ SS  වැනි ප්‍රහාරක බලකායන් පදනම් වූයේ මෙම සමාජ ස්ථර මතය. ප්‍රධාන වශයෙන් පාදඩ නිර්ධන පංතියෙන් සැදුම්ලත් මෙම මිනිස් අපද්‍රව්‍යවලට බරපතල මහා බලවේගයක් බවට පත්විය හැක්කේ විශේෂ තත්වයන් යටතේ පමණි. ගැඹුරු ආර්ථික අර්බුදයක් තිබිය යුතු අතර ඔවුන් කම්කරු පක්ෂ කෙරෙහි කලකිරීමට පත්විය යුතුවාක් මෙන්ම, ඔවුන්ට පාලක පන්තියේ විශේෂ මූල්‍ය හා දේශපාලන සහායද තිබිය යුතුය. 1923 තරම් කාලයකදී ‘අපට දැඩි පාලකයෙක් අවශ්‍යයි’, ‍යනුවෙන් මොලර් වැන් ඩෙන් බෲක් සුසුම් ලෑවේය. 1920 දශකයේ අගභාගයේදී බොහෝ කර්මාන්තකරුවන් ‘අපගේ දුක්ඛිත තත්වයෙන් අපව නිදහස් කර ගැනීම සඳහා ශක්තිමත් මිනිසෙකුගේ පැමිණීම’ ගැන ආශාවෙන් පසුවිය.

1930 ට පෙර, ප්‍රහාරක භට පිරිස් ප්‍රධාන වශයෙන් කම්කරුවන්ගේ රැස්වීම් බිඳ දැමීම සඳහා භාවිතා කරන ලද නමුත් පසුව ඒවා උද්ඝෝෂණ කඩා කප්පල් කිරීම, කම්කරුවන් කුපිත කිරීම සහ ඝාතනයන් සඳහා පාරට ගෙන එන ලදී. මුලදී, ඔවුන් ඉතා දුර්වල වූ අතර, කම්කරු ව්‍යාපාරය ඔවුන්ට එරෙහිව වේගයෙන් සිය ශක්තිය භාවිතා කළේ නම්, ඔවුන් තලා දැමිය හැකිව තිබුණි. හිට්ලර් පවා පසුව පාපොච්චාරණය කළේ: ‘එක් දෙයකින් පමණක් අපගේ ව්‍යාපාරය බිඳ දැමිය හැකිව තිබුණි. ඒ විරුද්ධවාදියා මූලධාර්මිකව එය තේරුම් ගෙන පළමු දිනයේ සිටම අතිශය කුරිරු ලෙස, අපගේ නව ව්‍යාපාරයේ න්‍යෂ්ටිය එය බිඳ දැමුවේ නම්ය. ‘අවාසනාවකට මෙන්, කම්කරු නායකයින් ‘ෆැසිස්ට්වාදීන් මර්ධනය’ සඳහා ධනේශ්වර රාජ්‍යයේ ආධාර පැතීම කරා යොමු විය’!

1930 දී ජර්මනිය හැරවුම් ලක්ෂ්‍යයකට පැමිණ තිබුණි. ජනතාව, කලකිරීමටත් බලාපොරොත්තු සුන් බවටත් පත්ව තිබුණි. ‘මේවා මෙසේ වීමට ඉඩ දිය නොහැකිය’ යන හැඟීම සෑම තැනකම පැතිරෙන්නට විය. සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් (SPD) සහ කොමියුනිස්ට්වරුන් (KPD), තමන්ට පැවති සහයෝගය එලෙසම තබා ගනිමින් වුවත්, බිහිසුණු තත්වයන්ට මුහුණ දී සිටි මිලියන සංඛ්‍යාත සුලු ධනේශ්වරය අල්ලා ගැනීමට අපොහොසත්ව සිටීය: ඒවා ඔවුන්ට බලාපොරොත්තුවක් හෝ විසඳුමක් ඉදිරිපත් කළේ නැත. ඔවුන් ප්‍රධාන ධනේශ්වර පක්ෂ අතහැර ඔවුන්ගේ සැබෑ ගැලවීම ගැන පොරොන්දු දුන් හිට්ලර් වෙත නැඹුරු විය. කෙසේ වෙතත්, නාසීන් සංවිධිත කම්කරුවන්ගේ සහාය දිනා ගැනීමට මුළුමණින්ම අසමත් විය. 1931 දී නාසීන් කර්මාන්තශාලා කමිටු මැතිවරණයේදී ලබා ගත්තේ 5% පමණක් වන අතර 1933 මාර්තු වන විට ඔවුන්ගේ සියලු උත්සාහයන් නොතකා, එය 3% දක්වා අඩු වී තිබුණි. හිට්ලර්ගේ ආයාචනය ඉහළ හා මධ්‍යම පංතියට සහ ඡන්දය දීමට තරම් කරදර නොවූ දේශපාලනික නොවූ ජනතාවට වෙතට විය. 1930 සැප්තැම්බරයේ නාසි පක්ෂය ලැබූ දැවැන්ත ඡන්දය සමඟ බලවේගවල සමතුලිතතාවයේ බරපතල වෙනසක් සිදු විය.

SPD ඡන්දය 1928 සිට 6% කින් පහත වැටී තිබූ නමුත් කොමියුනිස්ට්වාදීන්ගේ ඡන්දය සැලකිය යුතු ලෙසින් (40% කින්) මිලියන 4.5 කට වඩා වැඩියෙන් ඉහළ ගොස් තිබුණි. ඊට වෙනස්ව, නාසි පක්ෂය සිය ඡන්දය (මිලියන 6.5 කට ආසන්න ගණනකින් 800% කට වඩා වැඩි කරගෙන තිබුණි. එය රයික්ස්ටෑඝි 9වන පක්ෂයේ සිට 2වන ලොකුම පක්ෂය දක්වා පැමිණ තිබුණි.
ස්ටාලින්වාදය හා ‘සමාජ ෆැසිස්ට්වාදය’
ස්ටැලින්වාදීන් සංඛ්‍යාවල සැබෑ අනුපාතයන් ගැන කිසිම හැඟීමක් නොමැතිව මැතිවරණය කොමියුනිස්ට්වාදයට දැවැන්ත ජයග්‍රහණයක් ලෙසින් ප්‍රකාශයට පත් කළේය. පක්ෂයේ ඉදිරි පෙළ නායකයෙකු වූ හර්මන් රෙමෙල් කියා සිටියේ: ‘සැප්තැම්බර් මැතිවරණයේ එකම ජයග්‍රාහකයා වන්නේ කොමියුනිස්ට් පක්ෂයයි’ යනුවෙනි.

පිරිහෙමින් පැවති තත්වය ගැන තැතිගත් ට්‍රොට්ස්කි සහ ජාත්‍යන්තර වාම විරුද්ධ පාර්ශවය කොමියුනිස්ට් පක්ෂයේ නායකයින්ගෙන් හා සාමාජිකයන්ගෙන්, ෆැසිස්ට්වාදීන් නැවැත්වීම සඳහා සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් සමඟ එක්සත් පෙරමුණක් ගොඩනඟන ලෙසට වහාම ඉල්ලීමක් කළේය. “නාසීන් තර්ජනයක් වී ඇත්තේ ජර්මනියේ පමණක් නොව, යුරෝපයේ හා රුසියාවේ නිර්ධන පංතියටද එය දැඩි තර්ජනයකි. ෆැසිස්ට් ජයග්‍රහණයක් අනිවාර්යයෙන්ම සෝවියට් සංගමය සමඟ යුද්ධයක් දක්වා ගමන් කරයි.” ස්ටැලින්වාදීන් පිළිතුරු දුන්නේ පහත අයුරිනි:
“ජාතික සමාජවාදය පරාජය කළ හැක්කේ කෙසේද? යන්න පිළිබඳ ඔහුගේ පත්‍රිකාවේ, ට්‍රොට්ස්කි සෑම විටම මෙන් එකම පිළිතුරක් ලබා දෙයි: ‘ජර්මානු කොමියුනිස්ට් පක්ෂය සමාජ ප්‍රජාතන්ත්‍රවාදය සමඟ සම්මුතියකට යා යුතුය…’ ජර්මානු කම්කරු පන්තිය මුළුමනින්ම ෆැසිස්ට්වාදයෙන් බේරා ගැනීමට ඇති එකම ක්‍රමය මෙම සන්ධානය ලෙසට ට්‍රොට්ස්කි දකී. එක්කෝ කොමියුනිස්ට්වරු සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් සමඟ සමඟ සම්මුතියකට යා යුතුය, නැතහොත් ජර්මානු කම්කරු පන්තියට වසර 10-20 අතර කාලයක් අහිමි වනු ඇත. මෙය සම්පූර්ණයෙන්ම විනාශ වූ ෆැසිස්ට්වාදියෙකුගේ හා ප්‍රති විප්ලවවාදියෙකුගේ න්‍යායකි. මෙම න්‍යාය ඔහුගේ ප්‍රති විප්ලවවාදී ප්‍රචාරයේ අවසාන වසරවලදී ට්‍රොට්ස්කි විසින් ගොඩනගා ඇති නරකම, වඩාත්ම භයානක සහ වඩාත්ම අපරාධකාරී න්‍යායයි.” (අර්නස්ට් තේල්මන්, 1932 සැප්තැම්බර්)

ස්ටැලින්වාදීන්ගේ ප්‍රධාන සතුරා වූයේ හිට්ලර් නොව සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්ය! ඇත්ත වශයෙන්ම පක්ෂය හෙයින්ස් නියුමාන් හරහා මෙසේ ප්‍රකාශ කළේය: ‘ෆැසිස්ට් ආඥාදායකත්වය තවදුරටත් තර්ජනයක් නොවේ, එය දැනටමත් මෙහි පවතී.’ KPD විසින් ‘සමාජ ෆැසිස්ට්’ රැස්වීම් කඩා කප්පල් කිරීම සඳහා උපදෙස් ලබා දුනි. තේල්මන් විසින් සටන් පාඨ පවා නිර්මාණය කළේය: ‘සමාජ ෆැසිස්ට්වාදීන් කර්මාන්තශාලාවලින් හා වෘත්තීය සමිතිවලින් පන්නා දමනු! ඔවුන් කම්හල්වලින්, කම්කරු හුවමාරු වැඩසටහන් වලින් සහ වෘත්තීය පාසල් වලින් ඉවත් කරනු.’
1931 දී සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහන සේවක සංගම් සමුළුවක් කඩා කප්පල් කිරීම ගැන ජෑන් වැල්ටින් විචිත්‍රවත් ලෙස විස්තර කරයි:
“කොමියුනිස්ට් පක්ෂය වෘත්තීය සමිති සමුළුවක් විසුරුවා හැරීම වෙනුවෙන් සහයෝගය ඉල්ලා නාසි පක්ෂයේ මූලස්ථානයට පණිවිඩයක් ‍යැවීය. සෑම විටම එවැනි අවස්ථාවන්හිදී කළාක් මෙන් හිට්ලර් අනුගාමිකයන් එයට එකඟ වූහ,…සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ සමුළුව හොඳින් ක්‍රියාත්මක වෙමින් පැවති විට, මම නැඟිට ගැලරියේ සිට ප්‍රකෝපකාරී කතාවක් කළෙමි…අපි නොසැලී එය කළෙමු. පළමු වෘත්තීය සමිති නියෝජිතයා අපගේ අයෙකු ස්පර්ශ කළ විගසම අපගේ අනුගාමිකයන් නැඟිට කෝලාහලය ආරම්භ කළහ. ගෘහ භාණ්ඩ කුඩු කර, සහභාගිවන්නන්ට පහර දී, ශාලාව අවුල් ජාලයක් බවට පත් විය.” (Out of the Night)

මෙම පිස්සු ස්ථාවරයට ස්ටැලින්වාදී කොමින්ටානයේද පිටුබලය ලැබී තිබුණි: ‘ධනේශ්වරයේ ප්‍රධාන ආධාරකය වන සමාජ ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව අපගේ මූලික ප්‍රහාරය යොමු නොකරන්නේ නම් අපට වැඩ වර්ජනය කිරීමටත්. හා කම්කරුවන්ගේ පන්ති සතුරා වන ධනේශ්වරය විනාශ කිරීමටත් නොහැකි වනු ඇත.’

‘රතු ජනමත විචාරණය’

1931 අගෝස්තු මාසයේදී නාසි පක්ෂය විසින් ඔවුන්ගේ වර්ධනය වන ජනප්‍රියත්වය උපයෝගී කර ගනිමින් ප්‍රුෂියාව තුළ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය පෙරලා දැමීම වෙනුවෙන් ජනමත විචාරණයක් දියත් කළේය. මුලදී කොමියුනිස්ට් පක්ෂය නිවැරදි ලෙසින් එයට පහර දුන්නේය. ඡන්ද විමසීමට සති තුනකට කලින්, ස්ටාලින්ගේ කොමින්ටාන්හි නියෝග මත, ඔවුන් ප්‍රධාන සතුරා වන සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් පහතට දැමීම සඳහා ඔවුන් ෆැසිස්ට්වාදීන් සමඟ එක් විය. ඔවුන් ජනමත විචාරණයේ නම ‘රතු ජනමත විචාරණය’ ලෙසින් වෙනස් කළ අතර ෆැසිස්ට්වාදීන් සහ SA සාමාජිකයින් ‘වැඩ කරන ජනතාවගේ සහෝදරවරුන්’ ලෙස හැඳින්වීය!

වාසනාවකට මෙන්, ජනමත විචාරණය බහුතරයක් ලබා ගැනීමට අපොහොසත් විය. නාසීන්ගේ මෑත මැතිවරණ සාර්ථකත්වයන් සමඟ එවැනි ජනමත විචාරණයක ජයග්‍රහණයක් විසින් හිට්ලර් බලයට ගෙන ඒම වසර දෙකකින් ඉක්මන් කිරීමට ඉඩ තිබුණි.
ජර්මානු ස්ටැලින්වාදීන්ගේ උමතු ක්‍රියා අසාර්ථක විය, නමුත් ඔවුන් ඉන් කිසිවක් හෝ ඉගෙන ගත්තේ නැත. ‘සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් අද ජර්මනිය තුළ ෆැසිස්ට්වාදය නිර්මාණය කිරීමේ වඩාත් ක්‍රියාකාරී සාධකය’ යැයි තේල්මන් ප්‍රකාශ කළේය. එය නිර්ධන පංතිය නොමඟ යැවීමටත් ෆැසිස්ට්වාදීන්ගේ සාර්ථකත්වයට පහසුකම් සැලසීමටත් උපකාරී වූ පිස්සු ක්‍රියාවකි.

ජර්මානු කොමියුනිස්ට් පක්ෂය අවසානයේ එක්සත් පෙරමුණක් සඳහා වූ යෝජනාව සලකා බැලූ නමුත් එසේ කළේ එය අර්ථ විරහිත සටන් පාඨයක් බවට පත් කරමිනි. එය සමාජ ප්‍රජාතන්ත්‍රවාදී නායකයින්ගෙන් තොර ‘පහත සිට’ ඇතිවන එකක් බව අවධාරනය කළේය. වඩාත් උචිත අන්දමින් ට්‍රොට්ස්කි කියා සිටි ආකාරයට: ‘මෙය තමා සමඟ වූ එක්සත් පෙරමුණකි’!
මාසයක් ඇතුළත ජර්මානු ස්ටැලින්වාදීන් බර්ලින් ප්‍රවාහන සේවකයින්ගේ වැඩ වර්ජනය තුළ නාසීන් සමඟ එක්සත් පෙරමුණක් සංවිධානය කර තිබුණි! යෝජිත වැටුප් කප්පාදුවක් සම්බන්ධයෙන් ට්‍රෑම් රථ සේවකයින් නිල නොවන ක්‍රියාමාර්ග ගත්හ. සෑම කෙනෙකුගේම පුදුමයට කරුණක් ලෙසින්, නාසි පක්ෂය වැඩ වර්ජනයට සහාය දැක්වීය. ඔවුන් ට්‍රෑම් රථවලට පහර දෙමින් ට්‍රෑම් මාර්ග ගලවා දමමින් කොමියුනිස්ට් පක්ෂය සමඟ අත්වැල් බැඳ ගත්හ. වැඩ වර්ජනයට අරමුදල් සපයා ගැනීම සඳහා පාරේ අරමුදල් එකතු කිරීම් සංවිධානය කරන ලද අතර, බර්ලිනයේ කොමියුනිස්ට්වාදියෙකු හා නාසිවාදියෙකු එකට සිටගෙන එක්ව කෑ ගසමින් සිටිනු දැකීම තැතිගන්වනසුලු හා ව්‍යාකූල දසුනක් විය. ඔවුන් එක්ව කැට සොලවමින් ‘RGO වැඩ වර්ජන අරමුදල සඳහා – NSBO වැඩ වර්ජන අරමුදල සඳහා’ යනුවෙන් හඬ නැඟීය. RGO යනු කොමියුනිස්ට්වාදීන්ගේ විප්ලවවාදී වෘත්තීය සමිති විපවිරුද්ධ පර්ශවය වූ අතර ෆැසිස්ට්වාදීන්ගේ NSBO යනු ජාතික සමාජවාදීන්ගේ කර්මාන්තශාලා තුළ පැවති න්‍යෂ්ඨික සංවිධානයයි.

මෙම දර්ශනය සාමාන්‍ය සමාජවාදීන් හා වෘත්තීය සමිතිවාදීන් පිළිකුල් කළ අතර වැඩ වර්ජනය කෙරෙහි තිබූ අනුකම්පාව නැති විය. සතියක් ඇතුළත වැඩ වර්ජනය අත්හිටුවන ලදි.
1930 දී මුලර් රජයේ බිඳවැටීම, ඉන් අනතුරු පැමිණිව හෙන්රිච් බෲනින්ගේ වඩාත් දක්ෂිණාංශික පාලනය විසින්, එය ගෙනගිය ජනයාගේ අප්‍රසාදයට ලක්වූ අවධමන ප්‍රතිපත්ති සමඟ එක්ව සැප්තැම්බර් මාසයේදී හිට්ලර්ගේ මැතිවරණ ජයග්‍රහණ සඳහා මාවත සකස් කළේය. බෲනින්ගේ රජයට පාර්ලිමේන්තු බහුතරයක් නොතිබූ බැවින්, අර්ධ බොනපාට්වාදී ආකාරයකින් ආඥාවන් මඟින් පාලනය ගෙනගිය නමුත්, එයට අඩු නපුර ලෙසින් රයික්ස්ටෑඝි SPD නියෝජිතයින්ගේ සහාය හිමි විය. 1931 දෙසැම්බරයේදී ට්‍රොට්ස්කි විසින්  KPD සාමාජිකත්වයට තම අවසන් බලාපොරොත්තුව ලෙසින් වන ඉල්ලීමක් ඉදිරිපත් කළේය:
“කොමියුනිස්ට්වාදී කම්කරුවනි, ඔබ සිය දහස් ගණනකි, මිලියන ගණනකි; ඔබට කැමති විටක පිටව යා නොහැක; ඔබට ප්‍රමාණවත් විදේශ ගමන් බලපත්‍ර නොමැත. ෆැසිස්ට්වාදය බලයට පත්වුවහොත්, එය ඔබේ හිස් කබල් හා කොඳු නාරටිය හරහා ගමන් කරන භයානක යුධ ටැංකියක් මෙන් ගමන් කරනු ඇත. ඔබේ ගැලවීම පවතින්නේ අනුකම්පා විරහිත අරගලයේය. ජයග්‍රහණය ගෙන ඒමට හැකි වන්නේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී කම්කරුවන් සමඟ සටන් කිරීම සඳහා ඇතිකර ගන්නා එක්සත් කමකින් පමණි. ඉක්මන් කරන්න, කොමියුනිස්ට්වාදී කම්කරුවනි, ඔබට ඉතිරිව ඇත්තේ ඉතා කෙටි කාලයකි!”

හින්ඩන්බර්ග් ජනාධිපති වීම

1932දී මැතිවරණ පහකට නොඅඩු ප්‍රමාණයක් පැවැත්විණි. මාර්තු මාසයේදී හින්ඩන්බර්ග්, හිට්ලර් සහ තේල්මන් ප්‍රධාන අපේක්ෂකයින් තිදෙනෙකු ලෙසින් සහභාගි වූ ජනාධිපතිවරණයක් පැවැත්විණි. 1925දී දැඩි මිලිටරිවාදියෙකු ලෙස දක්වමින් හින්ඩන්බර්ග්ට විරුද්ධ වූ සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් දැන් ඔහුට ‘අඩු නපුර’ ලෙස  සළකා සහාය දීමට තීරණය කළේය. ප්‍රතිඵලය වූයේ:
හින්ඩන්බර්ග් 19,360,000 53%
හිට්ලර්           13,418,500 36.8%
තේල්මන්         3,706,800 10.2%
හිට්ලර්ගේ ව්‍යාපාරය මාස 17 කදී සිය ශක්තිය දෙගුණ කරගෙන තිබුණි. තත්ත්වයේ බරපතලකම මුළුමනින්ම අවතක්සේරු කළ කම්කරු නායකයින් හින්ඩන්බර්ග්ගේ ජයග්‍රහණයෙන් සැනසීමට විය.

එල්ල වූ පීඩනය යටතේ බෲනින් රජය විසින් SA සහ SS තහනම් කළේය. මෙම නියෝගයෙන් සති හයක් ඇතුළත හින්ඩන්බර්ග් වීසින් බෲනින් වෙනුවට ෆ්‍රාන්ස් වොන් පැපන් පත් කළේය. කෙටි කාලයකට පසු, වොන් පැපන් ෆැසිස්ට් හමුදා සංවිධාන තහනම අවලංගු කළ අතර, ඒවා විසින් පෙර නොවූ විරූ ආකරයෙන්, සෑම ප්‍රදේශයකින්ම මරණ වාර්තා වූ, සිය ගණනක් මිය ගිය හෝ තුවාල ලැබූ ත්‍රස්ත ව්‍යාපාරයක් දියත් කළේය. ජූලි මස අවසානයට නියමිත නව මැතිවරණයක් ප්‍රකාශයට පත් කරන ලදී.

ජීවිත 18 ක් අහිමි වූ හැම්බර්ග්හි නාසීන් සමඟ පැවති ප්‍රචණ්ඩකාරී වීදි සටනක් හේතුව කර ගනිමින්. වොන් පැපන් ප්‍රුෂියාවේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය බලයෙන් පහ කොට තමාවම එහි නව පාලකයා ලෙස පත් කර ගත්තේය. රට පුරා කම්කරුවන් SPD නායකයින් දෙස බැලුවේ ඔවුන් යම් ක්‍රියාමාර්ගයක් සඳහා කැඳවනු ඇතැයි බලාපොරොත්තුවෙනි.

සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් හා ජනරජවාදී රීච්ස්බැනර් ඇතුළත්, කම්කරුවන්ගේ මිලිටරි ආරක්ෂක සංවිධානය වන ‘අයෝමය පෙරමුණ’ පෙළපාලි පවත්වමින් සිය බලය පෙන්නුම් කරමින් සිටි අතර ජනරජය ආරක්ෂා කිරීම සඳහා සටන් කිරීමට අදිටන් කරගෙන සිටියෝය. අභ්‍යන්තර කටයුතු පිළිබඳ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී අමාත්‍යවරයා කම්කරුවන් සන්සුන් කිරීමට ඉදිරිපත් විය: රීච්ස්බැනර් සහායක පොලිසියක් ලෙස බලමුලු ගන්වා අනතුර පැමිණෙන අවස්ථාවේදී ඔවුන් සන්නද්ධ කරන බවට සහතික වෙමි.’ රීච්ස්බැනර්හි පමණක් සාමාජිකයින් මිලියන 3 ක් සිටි අතර එය ඉහළ හමුදා ශ්‍රේණින් තුළ පුහුණුව ලත් කේඩරයන් 400,000 කින් සමන්විත විය.

අවාසනාවකට මෙන්, SPD නායකයින් නින්දිත ලෙස යටත් වූ අතර, ඒ වෙනුවට ප්‍රතිගාමී අධිකරණවලට යමින් අභියෝග කිරීමට තීරණය කළහ. KPD මහා වැඩ වර්ජනයක් සඳහා කැඳවීම නිකුත් කළ නමුත් ‘රතු ජනමත විචාරණයේ’ නින්දිත භූමිකාවෙන් පසුව එයට ජනයා ඇහුම්කන් නොදීම පුදුමයක් නොවේ.
දින කිහිපයක් ඇතුළත KPDය ‘සමාජ ෆැසිස්ට්වාදීන්ට’ එරෙහි ප්‍රහාර කරා ආපසු ගියේය’. ජූලි 31 වන දින පැවති මැතිවරණයේදී ජාතික සමාජවාදී කම්කරු පක්ෂය රයික්ස්ටෑග්හි විශාලතම පක්ෂය බවට පත්විය. ප්‍රධාන පක්ෂවල ප්‍රතිඵල වූයේ:
ජාතික සමාජවාදීන්        13,745,800   37.4%
සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්    7,959,700   21.6%
කොමියුනිස්ට්වරුන්         5,282,600   14.6%
මධ්‍යය පක්ෂය                4,589,300   12.5%
ජාතික පක්ෂය                2,177,400     5.9%

මධ්‍යය පක්ෂය හැර අනෙකුත් සියලුම ධනේශ්වර පක්ෂවල වියදමින් තම ඡන්දය විචිත්‍රවත් ලෙස වැඩි කරගත් ෆැසිස්ට්වාදීන්ට එය විශිෂ්ට ජයග්‍රහණයක් විය. සමස්තයක් ලෙස කම්කරු පන්තියේ ඡන්දදායකයින් කම්කරු සංවිධාන සමඟ ස්ථිරව සිටි අතර සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ වියදමින් කොමියුනිස්ට්වාදීන්ට පැවති සහයෝගය වැඩිව තිබුණි. කොමියුනිස්ට්වාදීන් තමන් ‘එකම ජයග්‍රාහකයා’ ලෙස ප්‍රකාශයට පත් කළහ! සැප්තැම්බර් 12 වන දින රයික්ස්ටෑග් හමුවූ විට වොන් පැපෙන් වාරණය කිරීමේ ඡන්දයක් ලැබුණු අතර එහි ප්‍රතිඵලයක් ලෙස රයික්ස්ටෑග් නැවත වරක් විසුරුවා හරින ලද අතර නව මැතිවරණ‍ය නොවැම්බර් 6 වන දිනට යෙදිණි.

‘හිට්ලර්ගේ ෆැසිස්ට්වාදය අවස්ථාවාදී ලෙස අතිශයෝක්තියට නැඟීමට’ එරෙහිව අනතුරු අඟවමින්, පක්ෂයේ උපායමාර්ගය ලෙසින් සමාජ ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව ‘ප්‍රධාන වශයෙන් පීඩනය යෙදීමේ’ වුවමනාව තේල්මන් නැවත වරක් අවධාරණය කළේය. කොමියුනිස්ට් පක්ෂ නායකයින් ෆැසිස්ට්වාදයේ ශක්තිය අර්ධ වශයෙන් පිළිගත් විටදී පවා, ‘හිට්ලර්ට පසුව, අපගේ වාරය’ යනුවෙන් කියමින් එයට අත නොතැබීමට වග බලා ගත්තේය’
නමුත් නොවැම්බරයේ රයික්ස්ටෑග් මැතිවරණ ප්‍රතිඵලවලින් නාසීන් පසු බැසීමකට ලක්ව තිබුණි. ෆැසිස්ට් ව්‍යාපාරයට එහි ඉහළම අවස්ථාවේදී ලැබුණ ඡන්දවලින් මිලියන දෙකක් අහිමි වී තිබුණි. ප්‍රතිඵලය වූයේ:
ජාතික සමාජවාදීන්            11,737,000 33.1%
සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්        7,248,000 20.4%
කොමියුනිස්ට්වරුන්             5,980,000 16.9%
මධ්‍යය පක්ෂය                    4,231,000 11.9%
ජාතික පක්ෂය                    2,959,000   8.8%

නාසීන්ගේ ඡන්දය දැන් SPD-KPD ඒකාබද්ධ ඡන්දයට වඩා අඩුය. වෙයිමර් ජනරජයේ අවසන් ‘නිදහස්’ මැතිවරණය මෙය වූ අතර එහිදී ජනගහනයෙන් තුනෙන් දෙකක් නාසීන්ට එරෙහිව ඡන්දය දී තිබුණි.

හිට්ලර් චාන්සලර් බවට පත්වීම

නොවැම්බරයේදී වොන් පැපන් ඉල්ලා අස් වූ අතර ෂ්ලෙයිචර් චාන්සලර් ලෙස පත් කරන ලදී. කිසිදු පාර්ලිමේන්තු පදනමක් නොමැතිව, ෂ්ලෙයිචර්ගේ අර්බුදකාරී පාලනය පැවතියේ දින 57 ක් පමණි. 1933 ජනවාරි 30 වන දින ජනාධිපති හින්ඩන්බර්ග් ඇඩොල්ෆ් හිට්ලර්ව සන්ධාන කැබිනට් මණ්ඩලයේ චාන්සලර් ලෙස පත් කළේය.

ලියොන් ට්‍රොට්ස්කි සහ ඔහුගේ ආධාරකරුවන් සන්නද්ධ නැඟිටීමක් කරා ගමන් කරන ලෙසත්, ෆැසිස්ට්වාදය සමඟ පැවති ජීවිත‍ය හා මරණ‍ය සමඟ වන අරගලයේදී ජර්මානු කම්කරු ව්‍යාපාරයේ සම්පත් සම්පූර්ණ ලෙසින් බලමුලු ගන්වන ලෙසත් ඉල්ලා සිටියහ. ජර්මනියේ සියලුම ප්‍රධාන නගර පුරා මහා උද්ඝෝෂණ හටගත් අතර කම්කරු නායකයින් ඔවුන්ව ක්‍රියාකාරීත්වයට කැඳවනු ඇතැයි අපේක්ෂා කරන ලදී. කම්කරු නායකයින් මෙම තීරණාත්මක මොහොතේ ගන්නා ක්‍රියාමාර්ගය දෙස කම්කරුවන් නොඉවසිලිමත්ව බලා සිටියහ.
තම ජයග්‍රහණය ගැන කිසිඳු සැකයක් නොතිබූ හිට්ලර්, පූර්ණ බලය වෙනුවෙන් වන පියවරක් ලෙස නෛතික මාධ්‍යයන්’ භාවිතා කිරීමට සූදානම් විය. ජාතික පක්ෂය සමඟ සන්ධාන රජයක් මෙහෙයවීමේ සම්මුතියක් ඇති කර ගැනීමට ඔහු මුලින් කැමැත්තෙන් සිටි අතර නාසීන් කැබිනට් තනතුරු එකොළහෙන් තුනක් පමණක් තබා ගත්තේය. එහෙත් හිට්ලර් තීරණාත්මක ස්ථානයක සිටි අතර එයින් ඔහු සිය ඊළඟ පියවර සඳහා භූමිය සූදානම් කළේය.

ජර්මානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී නායකයින් ‘සන්සුන් වන ලෙසට’ ඉල්ලීමක් කළහ. පෙබරවාරි 7 දින පක්ෂයේ බර්ලින් සම්මේලනයේ ප්‍රධානියා උපදෙස් දුන්නේ: ‘සියල්ලටම වඩා ඔබව කුපිත කිරීමට ඉඩ නොදෙන්න. බර්ලින් කම්කරුවන්ගේ ජීවිතය හා සෞඛ්‍යය සැහැල්ලු ලෙස අවදානමට ලක් කරනවාට වඩා බොහෝ වටිනේය; ඔවුන් අරගල දිනය වෙනුවෙන් ආරක්ෂා කළ යුතුය. හිට්ලර්ගේ පත්වීම ව්‍යවස්ථාමය බව පැහැදිලි කරමින් කම්කරු නායකයින් ඔවුන්ගේ ක්‍රියා සාධාරණීකරණය කළහ!

සභාග රජයට පාර්ලිමේන්තු පිටුබලය ප්‍රමාණවත් ලෙසින් ලබා ගැනීමට අපොහොසත් වීම නිසා මාර්තු 5 වන දින මැතිවරණයක් ප්‍රකාශ‍යට පත් කළ යුතු බවට හිට්ලර් හින්ඩන්බර්ග්ට ඒත්තු ගැන්වීය. ‘දැන් එය පහසු වනු ඇත’ යනුවෙන් ගොබෙල්ස් පෙබරවාරි 3 වන දින සිය දිනපොතේ ලියා ඇත. මන්ද සටන කරගෙන යාම සඳහා දැන් අපට රාජ්‍යයේ සියලු සම්පත් යෙදවිය හැකිය. ගුවන්විදුලිය සහ මුද්‍රණාලය අප සතුව ඇත. අපි විශිෂ්ට ප්‍රචාරක ව්‍යාපෘතියක් ඉදිරිපත් කරමු. මේ වතාවේ, ස්වාභාවිකවම, මුදල් හිඟයක් නොමැත.’ ජර්මානු කර්මාන්තකරුවන්ගේ තවදුරටත් මූල්‍ය සහාය ලබා ගැනීමේදී හිට්ලර් ‘මාක්ස්වාදීන්’ තුරන් කිරීමට පොරොන්දු විය’. දැන් ප්‍රුෂියාවේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ගොරිං අවධාරණය කළේ මෙම මැතිවරණය ‘ඊළඟ වසර සියය සඳහා’ අවසන් වරට සිදු කරන බැවින් මූල්‍ය කැපකිරීම්වල අවශ්‍යතාවයි! යනුවෙනි’. හිට්ලර් රජය සියලු කොමියුනිස්ට් රැස්වීම් තහනම් කර ඔවුන්ගේ පුවත්පත් වසා දමා තිබුණි. සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පෙළපාලි SA කල්ලි විසින් තහනම් කරන ලදී. මැතිවරණ ව්‍යාපාරය තුළ ෆැසිස්ට් විරෝධී පනස්එක් දෙනෙකු ඝාතනය කරන ලදී.

පසුව ගෝරින් විසින් ජනරජ නිලධාරීන් සිය ගණනක් පහකර කර ඔවුන් වෙනුවට SA සහ SS නිලධාරීන් පත් කළේය. ෆැසිස්ට් හමුදා සංවිධානවලට වන ඕනෑම බාධා කිරීමක් වළක්වා ගැනීමටත්, රාජ්‍යයට සතුරු අයට කිසිදු දයාවක් නොපෙන්වීමටත් ඔහු පොලිසියට ප්‍රකාශයක් නිකුත් කළේය. පසුව ඔහු 50,000 ක සහායක පොලිස් බලකායක් සංවිධානය කළ අතර ඔවුන්ගෙන් 40,000 ක් SA සහ SS වෙතින් ලබා ගන්නා ලදී. පෙබරවාරි 24 වන දින ගෝරිංගේ පොලිසිය කොමියුනිස්ට් මූලස්ථානය වන කාල් ලිබ්නෙක්ට් හවුස් වටලා ඇති අතර, වහාම දියත් කිරීමට නියමිත කොමියුනිස්ට් කුමන්ත්‍රණයක් පැවති බව ඔප්පු කිරීම වෙනුවෙන් එහි තිබූ ප්‍රචාරක ආම්පන්න හා ද්‍රව්‍ය රැගෙන ගොස් තිබුණි.

රයික්ස්ටැග් ගින්න

පෙබරවාරි 27 වන දින ෆැසිස්ට්වාදීන් විසින් රයික්ස්ටැග් ගිනිබත් කරන ලද අතර ඒ වෙනුවෙන් කොමියුනිස්ට්වාදීන්ට දොස් පැවරීය. මෙය ආවරණයක් කර ගනිමින් ඔවුන් කොමියුනිස්ට් පක්ෂය මුළුමනින්ම යටපත් කළහ. ගෝරිං කෑ ගැසුවේ ‘මෙය කොමියුනිස්ට් විප්ලවයේ ආරම්භයයි! අපි විනාඩියක් හෝ බලා නොසිටිය යුතුයි. අපි කිසිම දයාවක් නොපෙන්වමු. සෑම කොමියුනිස්ට්වාදියෙකුටම ඔහු සොයාගත් ස්ථානයේම වෙඩි තැබිය යුතුය. සෑම කොමියුනිස්ට් මහජන නියෝජිතයෙකුම මේ රාත්‍රිය තුළ බැඳ දැමිය යුතුය’ යනුවෙනි. ඊළඟ දවසේ ජනාධිපති හින්ඩන්බර්ග් භාෂණයේ නිදහස, මාධ්‍ය නිදහස, රැස්වීම් පැවැත්වීම යනාදිය ආවරණය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සියලුම කොටස් අත්හිටුවන නියෝගයකට අත්සන් තැබීය. කොමියුනිස්ට් පක්ෂය සියලු ෆැසිස්ට් විරෝධී අයගෙන් ඉල්ලා සිටියේ තුන්වන ලැයිස්තුවට (KPD) ඡන්දය දීමෙන් ‘ප්‍රති-විප්ලයට එරෙහිව සටන් කරන ලෙසයි! නමුත් KPDය කිසිදු ප්‍රතිරෝධයක් දැක්වූයේ නැත. ටොග්ලර්ගේ ඇදහිය නොහැකි වචන වලට අනුව: ‘කොමියුනිස්ට් පක්ෂයට සන්නද්ධ කැරැල්ලකින් කිසිවක් අපේක්ෂා කළ නොහැකි අතර, එක් දෙයක් පමණක් අපේක්ෂා කළ හැකිය: කැපී පෙනෙන සාර්ථකත්වයක් අත්කර ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින මැතිවරණය තෙක් හදිසි අනතුරකින් තොරව දිවි රැක ගැනීම.’

සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සහ ලිබරල් නායකයින් සමඟ කොමියුනිස්ට් පක්ෂ නිලධාරීන් 4000 ක් පමණ අත්අඩංගුවට ගනු ලැබීය. ප්‍රහාරක භට කණ්ඩායම් ජර්මනියේ වීදි හරහා දිව ගොස් දොරවල් කඩා සැක සහිත කොමියුනිස්ට්වාදීන්ට වධහිංසා පැමිණවීය. මැතිවරණ ව්‍යාපාරය පුරාම, බාධා කිරීමකින් තොරව උද්ඝෝෂනය ගෙන යාමට හැකි වූයේ නාසීන්ට සහ ජාතිකවාදී පක්ෂයට පමණි. සුලු ධනේශ්වරය ‘බොල්ෂෙවික් කුමන්ත්‍රණකරුවන්ට’ එරෙහිවත්, ක්‍රමය යථා තත්වයට පත් කිරීමට නාසීන්ට ඇති අවශ්‍යතාව ගැනත් පූර්ණ උමතුවකට ලක්ව සිටීය. ඩැනියෙල් ගුවෙරින්ගේ Fascism and Big Businessහි දැක්වෙන අන්දමට මාර්තු 5 වන දින රාත්‍රියේ ජර්මනියේ ප්‍රධාන නගරවල රීච්ස්බැනර් කොට්ඨාශ නායකයින් බර්ලිනයට ගොස් සටන් කිරීමට නියෝගයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියහ. ඔවුන්ට ලැබුණ පිළිතුර වූයේ: ‘සන්සුන් වන්න! සියල්ලටත් වඩා ලේ වැගිරීමෙන් වළකිමු’ යන්නයි. මාර්තු 5 වන දින මැතිවරණ ප්‍රතිඵල නිකුත් විය:
ජාතික සමාජවාදීන්         17,277,000 43.9%
සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්     7,182,000 18.3%
කොමියුනිස්ට්වරුන්          4,848,000 12.3%
මධ්‍යය පක්ෂය                 4,425,000 11.7%
ජාතික පක්ෂය                 3,137,000 3.8%

සියලු ඝතන, භීෂණය, බිය ගැන්වීම්, විපක්ෂය විනාශ කිරීම තිබියදීත්, නිරපේක්ෂ බහුතරයක් දිනා ගැනීමට හිට්ලර් අසමත් විය. ප්‍රතිඵල මගින් නව රයික්ස්ටෑග්හි ආසන 288 ක් නාසීන්ට ලැබී තිබූ අතර එහි හවුල්කරුවන් වූ ජාතිකවාදීන් සමඟ එක්ව, ආසන 340 ක් – 16 ක බහුතරයක් – ලබාගෙන තිබුණි. එය ව්‍යවස්ථාව වෙනස් කිරීමට සහ ඒකාධිපති පාලනයක් ස්ථාපිත කිරීමට ‘නීත්‍යානුකූලව’ අවශ්‍ය තුනෙන් දෙකක බහුතරයට වඩා බෙහෙවින් අඩුය.

කෙසේ වෙතත් ෆැසිස්ට්වාදීන් එය ගැටලුවක් ලෙස දුටුවේ නැත. පළමුවෙන්ම, කොමියුනිස්ට් පක්ෂය ඒ වනවිට නීති විරෝධී වූ අතර ඔවුන්ගේ නියෝජිතයින් සැඟවී හෝ හිරේ හෝ සිටියහ. දෙවනුව, ගෝරිංට හැඟී ගියේ හුදෙක් ‘පිළිගැනීම ප්‍රතික්ෂේප කිරීමෙන්’ පමණක් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී නියෝජිතයින් වළකාලිය හැකි බවයි’. මාර්තු 23 වන දින හිට්ලර් රයික්ස්ටෑග්හි හදිසි බලතල ලබා දෙන පනතක් ඉදිරිපත් කළ අතර එය 441 ට 81 ඡන්දයකින් සම්මත විය. හිට්ලර් ජර්මනියේ ඒකාධිපතියා බවට පත් විය.

Related posts