ගල් ගැසෙන සමාජයක් …!

By Charls Dayananda

නූතන සමාජ දේහයෙන් හිස හා හදවත ඉවත් කර එය ගලක් බවට පත් කළේ කවුද …

 පෙම් කරන්න බෑ කියූ විට ගෙල කපා දමති...අවවාදයක් දුන් විට ගසා මරති ...විශ්ව විද්‍යාල තුළ පොලු රැගෙන මරාගනිති....

 අපේ ජනසමාජය මේ විනාශකාරී මාවතට ඇද දැමුවේ කවුද ... අපගේ අධ්‍යාපනය තුලින්  සාහිත්‍යය ,සෞන්දර්ය ,ඉතිහාසය  ඉවත් කළ තක්කඩි දේශපාලකයන් හා උන්ට උඩගෙඩිදුන් මුදල් කෑදර නිළධාරීන් මෙයට වගකිවයුතුය .

 ජනසමාජයක් යහමගට ගැනීමට හෝ විනාශ කිරීමට බලපාන මූලික සාධකය ඇත්තේ ගොඩනැගිලි ,භෞතික සම්පත් හෝ ඩොලර් තුළ නොව අධ්‍යාපනය තුළයි .සමාජයක් විනාශ කිරීමට හා ජනතාව මෝඩයින් වහලුන් ලෙස තබාගැනීමට තක්කඩි දේශපාලකයන් දුර දිග බලා එය කරන්නේ අධ්‍යාපනය වෙනස් කිරීමෙනි .

 මීට වසර තිහ හතලිහකට පෙර එය ක්‍රියාත්මක කලේ විෂය නිර්දේශයෙන් සාහිත්‍යය ,ඉතිහාසය ඉවත් කිරීමෙන් හා සෞන්දර්ය නොසලකා හැරීමෙනි .

එහි ප්‍රතිඵල අද අපි බුක්ති විඳිමින් සිටිමු..!

ඔවුහු සාහිත්‍ය කන්නදැයි ඇසූහ ….සාහිත්‍ය ඉගෙන රස්සාවක් කරන්න පුළුවන් ද ඇසූහ ….මුදල් ඉලක්ක කරගෙන තාක්ෂණ ,විද්‍යා,ශිල්ප නිපුණතා විෂයන් වෙත පමණක් සිසුන් දක්කාගෙන ගියහ .සිසු පරපුරේ සංවේදී ඉඳුරන් මියයන්නට හැර තරගය,බලපොරය හා තන්හාව වෙත යොමු කලේය .

එහි ප්‍රතිඵල අද අපි බුක්ති විඳිමින් සිටිමු …!!

 මෙය හිතාමතා සැලසුම් සහගතව කරනලද සාහසික අපරාධයකි .තව තවත් විනාශය කරා යාමට ඉඩ නොදී අධ්‍යාපනයේ විප්ලවයක් සඳහා හඬ නැගීමට කාලය පැමිණ ඇත .අධ්‍යාපනය තුලින් ගොඩනැගිය යුත්තේ බල පොරයට ,බිහිසුණු තරගයට අවශ්‍ය මිනිසුන් නොව සංවේදී ,දයාබර හදවත් ඇති මිනිසුන් ය....එය කළහැක්කේ සාහිත්‍ය ,සෞන්දර්ය ,කලාව  අධ්‍යාපනයේ ප්‍රධාන ආලෝක ධාරාව බවට පත් කිරීමෙනි .එසේ නොමැතිව බේගල් බණ කියමින් සමාජය බිය වැද්දීමෙන් නොවේ..!!!

Related posts