1905 රුසියාවේ විප්ලවයේ ඇරඹුම ගැන ලෙනින්…

රාජු ප්‍ර‍භාත් ලංකාලෝක විසිනි

1905 රුසියාවේ විප්ලවයේ ඇරඹුම ගැන ලෙනින් ලියූ මෙම ලිපිය ජනවාරි 1905 ජනවාරි 31 දින ප්‍රකාශයට පත් කරන ලදී:

රුසියාව තුළ වැදගත්කම අතින් විශාලතම ඓතිහාසික සිදුවීම් වර්ධනය වෙමින් පවතී. නිර්ධන පංතිය සාර්වාදයට එරෙහිව නැඟී ඇත. නිර්ධන පංතිය කැරැල්ලක් කරා තල්ලු කළේ රජය විසිනි. වැඩ වර්ජන ව්‍යාපාරය වර්ධනය වීමට ඉඩ හැරීමටත්, අඩු වැඩි වශයෙන් බාධාවකින් තොරව විශාල පෙළපාලියක් ආරම්භ කිරීමටත් රජය හිතාමතාම ඉඩ දුන්නේ මිලිටරි බලය යෙදවිය හැකි තැනකට කරුණු ගෙන ඒම සඳහා බවට මේ වනවිට කිසිදු සැකයක් තිබිය නොහැක. එම උපාමාරුව සාර්ථක විය. දහස් ගණනක් මියගොස් සහ තුවාල ලබා තිබීමෙන්, ජනවාරි 9 වන දින, ශාන්ත පීටර්ස්බර්ග් ලේ වැකි ඉරිදා තරම පෙන්වාලයි. හමුදාව නිරායුධ කම්කරුවන්, කාන්තාවන් සහ ළමයින් මර්ධනය කළේය. හමුදාව සතුරන්ට සේ වෙඩි තැබුවේ අසරණව සිටි කම්කරුවන්ටය.

ඔව්, එය රුසියානු නිර්ධන පංතියට අමතක නොවන විශිෂ්ට පාඩමක් විය. සාර්ව බොළඳ ලෙස විශ්වාස කොට සාමකාමී ලෙස “සාර්” බැහැ දැක, වඩාත්ම පීඩිත ජනයාගේ පෙත්සම ඔහුට ඉදිරිපත් කිරීමට අවංකවම කැමැත්තෙන් සිටි කම්කරු පන්තියේ වඩාත්ම නූගත්, පසුගාමී කොටස් ඇතුළු සියළු දෙනාට සාර් හෝ ඔහුගේ මාමා වූ මහා ආදිපාද ව්ලැඩිමීර් විසින් නායකත්වය දුන් හමුදා විසින් පාඩමක් ඉගැන්වූහ.

සිවිල් යුද්ධය අතිශය වැදගත් පාඩමක් කම්කරු පන්තියට ලබා දී ඇත; නොවැදගත්, නීරස, අමිහිරි ජීවිතයේ මාස සහ වසර ගණනකින් ලබා ගත හැකිවනවාට වඩා වැඩි නිර්ධන පංතික විප්ලවවාදී අධ්‍යාපනයක් එක් දිනකින් ලබා ගත්තේය. වීරෝධාර ශාන්ත පීටර්ස්බර්ග් නිර්ධන පංතියේ සටන් පාඨය වූ, “මරණය හෝ නිදහස!” යන්න රුසියාව පුරා දෝංකාර දෙයි. සිදුවීම් විශ්මිත වේගයෙන් වර්ධනය වෙමින් පවතී. ශාන්ත පීටර්ස්බර්ග්හි මහා වැඩ වර්ජනය ව්‍යාප්ත වෙමින් පවතී. සියලුම කාර්මික, දේශපාලන සහ පොදු කටයුතු අඩාල වී ඇත. ජනවාරි 10 සඳුදා, කම්කරුවන් හා හමුදාව අතර තවත් ප්‍රචණ්ඩ ගැටුම් ඇති විය. රජයේ ම්ලේච්ඡ වාර්තාවලට පටහැනිව, අගනුවර බොහෝ ප්‍රදේශවල ලේ ගලා යයි. කොල්පිනෝහි කම්කරුවන් නැගිටිමින් සිටිති. නිර්ධන පංතිය තමන්මත්, ජනතාවත් සන්නද්ධ කරමින් සිටී. කම්කරුවන් සෙස්ට්‍රොරෙට්ස්ක් අවි ගබඩාව අල්ලා ගත් බව කියනු ලැබේ. ඔවුන් තමන්ට රිවෝල්වර සපයා ගනිමින්, ආයුධ ඔවුන්ගේ ආම්පන්න බවට පත් කර ගනිමින්, නිදහස වෙනුවෙන් වෙන කළ හැකි දෙයක් නැති ලෙසින් බෝම්බ සපයා ගනිමින් සිටිති. මහා වැඩවර්ජනය පළාත්වලට ව්‍යාප්ත වෙමින් පවතී. මොස්කව්හි දස දහසක් දෙනා දැනටමත් වැඩ නතර කර ඇති අතර හෙට (ජනවාරි 13 බ්‍රහස්පතින්දා) දිනට මහා වැඩ වර්ජනයක් කැඳවා ඇත. රීගාහි නැඟිටීමක් හටගෙන ඇත. ලෝඩ්ස්හි කම්කරුවන් උද්ඝෝෂණ‍යේ නිරතව සිටී; වෝර්සෝහි නැගිටීමක් සූදානම් වෙමින් පවතී; හෙල්සිංෆෝහි නිර්ධන පංති පෙළපාලි පවත්වයි. කම්කරුවන් අතර නොසන්සුන්තාව වර්ධනය වෙමින් පවතින අතර වර්ජනය බකූ, ඔඩෙස්සා, කීව්, කාර්කොව්, කොයිනෝ සහ විල්නාහි පැතිරෙමින් පවතී. සෙවාස්ටපෝල්හි, නාවික ගබඩා සහ අවි ගබඩා ගිනිබත් වී ඇති අතර, හමුදාව කැරලිකරුවන්ට වෙඩි තැබීම ප්‍රතික්ෂේප කර ඇත. ‍රෙවෙල් සහ සැරතොව්හි වැඩ වර්ජන හට ගෙන ඇත. කම්කරුවන් සහ ස්වේච්ඡා භටයන් ‍රේඩොම්හිදී ගැටී ඇත.

විප්ලවය ව්‍යාප්ත වෙමින් ඇත. ආණ්ඩුවට සිහිය නැති වීමට පටන් ගෙන ඇත. ලේවැකි මර්දන ප්‍රතිපත්තියේ සිට එය ආර්ථික සහන ලබාදීම කරා මාරුවීමටත්, කම්කරුවන්ට නොවැදගත් දෙයක් දීමෙන් හෝ පැය නවයේ වැඩ දිනය පොරොන්දු වීමෙන් මෙය බේරා ගැනීමටත් උත්සාහ කරයි. නමුත් ලේ වැකි ඉරිදා පාඩම අමතක කළ නොහැක. කැරලිකාර ශාන්ත පීටර්ස්බර්ග් කම්කරුවන්ගේ ඉල්ලීම – රහසිගත, සෘජු සහ සමාන පදනමක් මත පවත්වන සර්වජන ඡන්දයක් මත ව්‍යවස්ථාදායක සභාවක් වහාම කැඳවීම – යන්න වැඩ වර්ජනයේ නිරත සියලු කම්කරුවන්ගේ ඉල්ලීම බවට පත්විය යුතුය. වහා ආණ්ඩුව පෙරලා දමනු යන්න, සාර් විශ්වාස කළ ශාන්ත පීටර්ස්බර්ග් කම්කරුවන් පවා ජනවාරි 9 සංහාරයට පිළිතුරු දුන් සටන් පාඨය විය; ඔවුන් එම ලේ වැකි දිනයෙන් පසු ඔවුන්ගේ නායක ජෝර්ජි ගැපොන් පූජකවරයා මඟින් පිළිතුරු දුන්නේ: “අපට තවදුරටත් සාර් කෙනෙක් නැත. ලේ ගංගාවක් විසින් සාර් ජනතාවගෙන් වෙන් කර ඇත. නිදහස සඳහා වූ සටන දිනේවා!” යනුවෙනි.

අප කියා සිටින්නේ විප්ලවවාදී නිර්ධන පංතිය දිනේවා! යනුවෙනි. මහා වැඩ වර්ජනය විසින් වර්ධනය වන කම්කරු පන්තිය හා නාගරික දුප්පතුන් ඇතුළත් මහජනතාව පොළඹවමින් පෙළගස්වයි. ජනතාව සන්නද්ධ කිරීම විප්ලවීය මොහොතේ ක්ෂණිකව කළ යුතු කාර්යයක් බවට පත්වෙමින් තිබේ..

මහජනයාගේ නිදහසේ සැබෑ කාර්‍යභාරය කළ හැක්කේ සන්නද්ධ ජනතාවකට පමණි. නිර්ධන පංතිය ඉක්මනින්ම සන්නද්ධ වීමට සමත් වන අතර, එය වර්ජකයෙකු සහ විප්ලවවාදියෙකු ලෙසට සටන් වදින තරමට, හමුදාව ඉක්මනින් සෙලවීමට පටන් ගනී; අවසානයේ සොල්දාදුවන් වැඩි වැඩියෙන් ඔවුන් කරන්නේ කුමක්දැයි වටහා ගැනීමට පටන් ගන්නා අතර ඔවුන් දුෂ්ටයන්ට එරෙහිව, කුරිරු පාලකයාට එරෙහිව, අනාරක්ෂිත කම්කරුවන්ගේ මිනීමරුවන්ට සහ ඔවුන්ගේ භාර්යාවන් සහ දරුවන්ගේ ඝාතකයන්ට එරෙහිව ජනතාව සමඟ එක්වනු ඇත. ශාන්ත පීටර්ස්බර්ග්හි වත්මන් නැගිටීමේ ප්‍රතිඵලය කුමක් වුවත්, එය, ඕනෑම අවස්ථාවක, වඩා පුළුල්, සවිඥානික, වඩා හොඳ සංවිධානාත්මක නැගිටීමක් සඳහා වන පළමු පියවර වනු ඇත. ප්‍රතිගාමීන් දඬුවම් ලබන දිනය කල් දැමීමට රජය සමත් විය හැකි නමුත්, එය කල් යන තරමට විප්ලවීය ආරම්භයේ මීළඟ පියවර වඩාත් භයානක වනු ඇත. මින් අදහස් වනු ඇත්තේ සමාජ-ප්‍රජාතන්ත්‍රවාදීන් මෙම කල්දැමීමෙන් ප්‍රයෝජන ගනු ඇත්තේ සංවිධානාත්මක සටන්කරුවන් පෙළගස්වමින්, සාන්ත පීටර්ස්බර්ග් කම්කරුවන් විසින් ගන්නා ලද ආරම්භය පිලිබඳ පුවත් පතුරුවමින් බවයි. නිර්ධන පංතිය අරගලයට එක්වනු ඇත, එය මෝල්වලින් හා කම්හල්වලින් ඉවත් වී තමන් වෙනුවෙන් ආයුධ සූදානම් කරනු ඇත. නිදහස සඳහා වන අරගලයේ සටන් පාඨ නාගරික දුප්පතුන් සහ මිලියන සංඛ්‍යාත ගොවීන් අතරට වඩ වඩාත් පුළුල් ලෙස ගෙන යනු ඇත. සෑම කර්මාන්ත ශාලාවකම, සෑම නගර දිස්ත්‍රික්කයකම, සෑම විශාල ගමකම විප්ලවවාදී කමිටු පිහිටුවනු ඇත. කැරැල්ලේ සිටින ජනතාව සාර් ආඥාදායකත්වයේ සියලුම රාජ්‍ය ආයතන පෙරලා දමා ව්‍යවස්ථාදායක සභාවක කැඳවීම වහාම ප්‍රකාශ කර සිටිනු ඇත..

සෑම වර්ගයකම විප්ලවවාදීන්ට එක්සත් වීමටත්, පොදු ප්‍රහාරයක් එල්ල කිරීමටත් වන ප්‍රායෝගික පදනම නම්, වහාම කම්කරුවන් සහ පොදුවේ සියලුම පුරවැසියන් සන්නද්ධ කිරීමත්, ආන්ඩුවේ බලධාරීන් සහ ආයතන පෙරලා දැමීම සඳහා විප්ලවවාදී බලවේග සූදානම් කිරීම සහ සංවිධානය කිරීමත්ය. නිර්ධන පංතිය සෑම විටම තමන්ගේම ස්වාධීන මාවතක් අනුගමනය කළ යුතු අතර, සමාජ-ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සමඟ ඇති සම්බන්ධය කිසි විටෙකත් දුර්වල නොකර, සෑම විටම මානව වර්ගයා සියලු සූරාකෑමෙන් මුදවා ගැනීම සඳහා වන තම ශ්‍රේෂ්ඨ, අවසාන පරමාර්ථය මනසේ තබා ගත යුතුය. එහෙත් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී නිර්ධන පංතියේ මෙම ස්වාධීනත්වය සැබෑ විප්ලවයේ මොහොතේදී පොදු විප්ලවවාදී ක්‍රියාරම්භයක වැදගත්කම අමතක කිරීමට කිසි විටෙකත් හේතුවක් නොවනු ඇත. සමාජ-ප්‍රජාතන්ත්‍රවාදීන් වන අපට ධනේශ්වර-ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය වෙනුවෙන් කටයුතු කරන අයගෙන් ස්වාධීනව ක්‍රියා කළ හැකි අතර නිර්ධන පංතියේ පන්ති ස්වාධීනත්වය ආරක්ෂා කළ යුතුය. නමුත් සාර්වාදයට සෘජු පහරවල් එල්ල වන විට, හමුදාවන්ට ප්‍රතිරෝධය පළ කරන විට, සමස්ත රුසියානු ජනතාවගේ ශාප ලත් සතුරාගේ බැස්ටිලයට පහර දෙන විට, එම නැගිටීමේදී අපි ඔවුන් සමඟ අත්වැල් බැඳ ගත යුතුය..

මුළු ලෝකයේම නිර්ධන පංතිය දැන් රුසියාවේ නිර්ධන පංතිය දෙස උනන්දුවෙන් බලා සිටී. අපගේ කම්කරු පන්තිය විසින් නිර්භීත ලෙස ආරම්භ කරන ලද රුසියාවේ සාර්වාදය පෙරලා දැමීම, සියලු රටවල ඉතිහාසයේ හැරවුම් ලක්ෂ්‍යය වනු ඇත; එය ලොව පුරා සෑම ප්‍රාන්තයකම, සියලුම ජාතීන්වල කම්කරුවන්ගේ කාර්යයට පහසුකම් සපයනු ඇත. එබැවින්, සෑම සමාජ-ප්‍රජාතන්ත්‍රවාදියෙකුම, සෑම පන්ති සවිඥානක කම්කරුවෙක්ම දැන් ඔහුගේ උරහිස් මත රැඳෙන පුළුල් බහුජන අරගලයේ දැවැන්ත කර්තව්‍යයන් සිහියේ තබා ගත යුතුය. ඔහු තම සතුරාට එරෙහිව සමස්ත ගොවි ජනතාවගේත්, වැඩ කරන සියල්ලන්ගේත්, සූරාකෑමට ලක්වන, සමස්ත ජනතාවගේත් අවශ්‍යතා සහ වුවමනාවන් නියෝජනය කරන බව ඔහු විසින් අමතක නොකළ යුතුය. ශාන්ත පීටර්ස්බර්ග්හි නිර්ධන පංතියේ වීරයන් දැන් සියල්ලන්ටම ආදර්ශයකි.

විප්ලවය දිනේවා !

සටනට බට නිර්ධන පන්තිය දිනේවා !

Related posts