පාස්කු ඉරිදා සංහාරය: සත්‍ය හෙළි කරන ලෙස ඉල්ලා සිදු කෙරෙන ජනතා විරෝධයට සහයෝගය පළ කරමු!

ඒකාබද්ධ මාධ්‍ය නිවේදනය:

කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පසුගිය 17 වනදා මාධ්‍ය හමුවක් පවත්වමින් ආයාචනා කර සිටියේ පාස්කු ඉරිදා සංහාරයේ වින්දියන්ට යුක්තිය ඉටු කිරීම සදහා සත්‍ය හෙළි කරන ලෙස රාජ්‍ය පාලකයන්ට බල කෙරෙන මිනිස් දම්වැලක් ලෙස ජාති ආගම් භේදයකින් තොරව 2023 අප්‍රේල් 21 සිකුරාදා කොළඹ කොච්චිකඩේ සිට මීගමුව දක්වා  පාර දෙපස පෙළ ගැසෙන ලෙසයි. කාදිනල් හිමිපාණන්ගේ මෙම ඉල්ලීමට කොන්දේසි විරහිතව පූර්ණ සහය දක්වන ශ්‍රී ලංකාවේ සමාජවාදි පක්ෂය හා ආසියානු කොමියුනය රටේ අනාගත යහ පැවැත්ම සදහාවූ මෙම ජනතා විරෝධයට එක්වන ලෙස සියලුම යුක්තිය අගයන අවංක හා සාධාරණ පුරවැසියන්ගෙන් ඉල්ලා සිටිමු.

ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා සංහාරය සිදුවී වසර 4ක් ගතවී ඇති නමුත් එම සංහාරයේ වින්දිතයන්ට හා ඔවුන්ගේ පවුල්වලට යුක්තිය ඉටු කිරීමට ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලකයන් අසමත්වී ඇත. ඒ වෙනුවට ශ්‍රී ලංකාවේ පාලක පංති ප්‍ර‍භූන් සිය රාජ්‍ය යන්ත්‍ර‍ය ක්‍රියා කරවමින් ඇත්තේ මෙම ප්‍ර‍හාරයට වගකිව යුතු නියම පුද්ගලයන් සගවා තබා ගැනීමේ සහ ඔවුනට සුදු හුණු ගෑමේ ක්‍රියාදාමයක් ඉදිරියට ගෙනයෑමට පමණක් නොව තවදුරටත් සිය දේශපාලන බල සූදුව සදහා මෙම ඝාතනයන් දඩමීමා කර ගැනීමටය.

ශ්‍රී ලංකාවේ පාලක පංති ප්‍ර‍භූන්ගේ මෙම නින්දා සහගත උත්සාහයන් පරාජය කර පාස්කු ප්‍ර‍හාරයේ වින්දියන්ට යුක්තිය ඉටු කිරීමටත්, ජනතාවට සත්‍ය හෙළිකිරීමටත් බල කෙරෙන අප්‍රේල් 21 සිකුරාදා කොළඹ, කොච්චිකඩේ සිට මීගමුව දක්වා දිග හැරෙන මිනිස් දම්වැලට එක්වෙමු!

ශ්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂය: කොළඹ, ශ්‍රී ලංකාව / ආසියානු කොමියුනය: පැරීසිය, ප්‍ර‍ංශය

Related posts